Home » පැඩල් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට ශ්‍රී ලංකාවේ ලීග් තරගාවලියක්

පැඩල් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමට ශ්‍රී ලංකාවේ ලීග් තරගාවලියක්

by mahesh
April 9, 2025 4:00 pm 0 comment

ෆවුස් මොහොමඩ්
පැඩල් ලීග් තරගාවලියේ තරග පැවැත්වෙන පැඩල් හවුස්හි සම නිර්මාතෘ රජීව් රාජපක්ෂ මහතා Eventistry ක්‍රීඩා ආයතනයේ අධ්‍යක්ෂ ඉෂාර ගුණරත්න, නිර්මාතෘ කරින් විජේරත්න සහ කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්හාම් ආරිෆ් මහත්ම මහත්මීන්ට නිල අනුග්‍රාහකත්වය පිරිනැමූ අයුරු.

යුරෝපයේ මේ වන විට ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත්වී ඇති ටෙනිස් සහ ස්කොෂ් ක්‍රීඩා මිශ්‍ර කරමින් නිර්මාණය වූ පැඩල් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීමේ අරමුණින් ලබන ජූනි මාසයේදී ෆ්‍රැන්චයිස් ක්‍රමවේදය අනුව පැඩල් ලීග් තරගාවලියක් පැවැත්වීමට නියමිතය.

Eventistry ක්‍රීඩා ආයතනයේ සංවිධායකත්වයෙන් යුතුව ලබන ජූනි මාසයේ 21 සිට 23 දක්වා සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩාංගණයේ ඉදි කර ඇති පැඩල් හවුස් පිටියේ පළමුවරට පැවැත්වෙන ශ්‍රී ලංකා පැඩල් ලීග් තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් තරග වදින අතර, එම කණ්ඩායම් ලෝක ප්‍රකට ශ්‍රී ලංකා සංචාරක ගමනාන්ත කේන්ද්‍ර කරමින් නම් කිරීම විශේෂත්වයකි. කලම්බු චාජර්ස්, යාල රේන්ජර්ස්, හික්කඩුව රයිඩර්ස්, ඇල්ල හෝක්ස්, ආරුගම්බේ වයිපර්ස් සහ ට්‍රින්කෝ වොරියර්ස් කණ්ඩායම් ලෙස නම් කර ඇති අතර, ඒ සඳහා ක්‍රීඩක වෙන්දේසියක් ලබන මස 16 වැනිදා කොළඹදී පැවැත්වෙනු ඇත.

ලොව පුරා දැනටමත් මිලියන 25කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් දස්කම් දක්වන පැඩල් ක්‍රීඩාව ලොව වේගයෙන්ම වර්ධනය වන ක්‍රීඩාව වන අතර, එම ක්‍රීඩාව දේශීය වශයෙන් හඳුන්වා දීමට ලීග් තරගාවලිය ඉවහල් වනු ඇතැයි ශ්‍රී ලංකා පැඩල් ලීග් තරගාවලිය පිළිබඳ අදහස් දැක්වූ Eventistry ක්‍රීඩා ආයතනයේ නිර්මාතෘ කරින් විජේරත්න ප්‍රකාශ කළේය. තරගාවලියේ කණ්ඩායම් හිමිකාරීත්වය සහ ක්‍රීඩක ලියාපදිංචිය සඳහා ජාත්‍යන්තර අයැදුම්කරුවන්ට ද දොරටු විවෘත කර ඇති අතර, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.slpadelleague.com වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT