Home » දික්වැල්ලට-සඳකැන්ට පළමු පෙළ ගිවිසුම්

දික්වැල්ලට-සඳකැන්ට පළමු පෙළ ගිවිසුම්

තවත් ක්‍රීඩකයෝ 43ක් එක් වෙති

by mahesh
April 9, 2025 4:00 pm 0 comment

නිරෝෂාන් ප්‍රියංකර

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කලක් නිත්‍ය සාමාජිකයකු ලෙස කටයුතු කළ කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ලට සහ දඟ පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන්ට පළමු පෙළ ක්‍රිකට් වාර්ෂික කොන්ත්‍රාත් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබීම කැපී පෙනේ.

දේශීය ක්‍රිකට් පිටිය නියෝජනය කරන ක්‍රීඩකයන්ගේ කුසලතා සංචිතය ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකරන වැඩසටහන්වල කොටසක් ලෙස මේ වසරේ දේශීය පළමු පෙළ ක්‍රිකට් තරග නියෝජනය කරන දික්වැල්ල සහ සඳකැන්ට අමතරව තවත් ක්‍රීඩකයන් 43 දෙනකුට මෙලෙස වාර්ෂික කොන්ත්‍රාත් පිරිනැමීමට කටයුතු කර තිබේ.

මෙරට පළමු පෙළ ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයන්ට සහයෝගය දැක්වීමටත්, ඔවුන්ගේ දක්ෂතා වැඩිදියුණු කරගැනීමට අවස්ථාව ලබා දීමේ අරමුණිනුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මේ කොන්ත්‍රාත් පිරිනැමීම සිදුකර ඇත.

මේ ක්‍රීඩකයන් ‘ඒ’, ‘බී’, ‘සී’ සහ ‘ඩී’ ලෙස කාණ්ඩ හතරක් යටතේ වර්ගීකරණය කර ඇති අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් සිදුකරන ලද තේරීම් මත පදනම්ව ක්‍රීඩකයන් කාණ්ඩගත කර තිබේ.

ඒ අනුව ක්‍රීඩකයන් 20 දෙනකු එක්ව සිටින ‘ඒ’ කාණ්ඩයට නිරෝෂන් දික්වැල්ල ද ඇතුළත් කර තිබේ. 2014 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි 31 හැවිරිදි දික්වැල්ල 2023 වසරේ අවසන් වරට ජාත්‍යන්තර තරග ක්‍රීඩා කර තිබේ. මේ දිනවල පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලියේ යාපනය පිල නියෝජනය කරමින් සිටී. එහිදී තරග දෙකක් ක්‍රීඩා කළ ඔහු ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟ ලකුණු 189ක් රැස් කර තිබේ.

2016 වසරේ ජගත් තරග වරම් ලබාගත් සඳකැන් අවසන් වරට ජාත්‍යන්තර තරගයකට එක්ව ඇත්තේ 2021 වසරේදීය. ඔහු ඇතුළත්ව ඇත්තේ ‘ඩී’ කාණ්ඩයටය. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස තරග 17ක් ක්‍රීඩා කර ඇති ලසිත් ඇඹුල්දෙණිය ද මීට ඇතුළත් අතර, ඔහු ද ‘ඒ’ කාණ්ඩයට ඇතුළත්ව සිටී.

ක්‍රීඩකයන් කොන්ත්‍රාත්ගත කිරීමේදී ‘බී’ කාණ්ඩයට ක්‍රීඩකයන් 5 දෙනෙක්, ‘සී’ කාණ්ඩයට ක්‍රීඩකයන් 10ක් සහ ‘ඩී’ කාණ්ඩයට ක්‍රීඩකයන් 10ක් ඇතුළත් කර තිබේ.

‘ඒ’ කාණ්ඩය – ධනංජය ලක්ෂාන්, ළහිරු මදුශංක, නිපුන් රන්සික, ෂෙවෝන් ඩැනියල්, අහන් වික්‍රමසිංහ, නිරෝෂන් දික්වැල්ල, ඉසිත විජේසුන්දර, නිමේෂ් විමුක්ති, තරිඳු රත්නායක, නිපුන් ධනංජය, නිසල තාරක, කමිල් මිශාර, අෂේන් බණ්ඩාර, රවිඳු ප්‍රනාන්දු, චාමික ගුණසේකර, වනුජ සහන්, ලසිත් කෲස්පුල්ලේ, විශාද් රන්දික, දිනුර කලුපහන, ලසිත් ඇඹුල්දෙණිය.

‘බී’ කාණ්ඩය – සනෝජ් දර්ශික, කවිශ්ක අංජුල, දිලුම් සුදීර, අෂේයින් ඩැනියල්, රොන් චන්ද්‍රගුප්ත.

‘සී’ කාණ්ඩය – කවීන් බණ්ඩාර, මුදිත ලක්ෂාන්, රවිඳු රසාන්ත, තනුක දාබරේ, මොහොමඩ් ශමාස්, ජනිෂ්ක පෙරේරා, සොහාන් ද ලිවේරා, සහන් කෝසල, ශම්මු අශාන්, දුවිඳු තිලකරත්න.

‘ඩී’ කාණ්ඩය – නලීන් ප්‍රියදර්ශන, තිලකරත්න සම්පත්, චානක කොමසාරු, රොෂාන් විජේනායක, ගයාන් මනීෂාන්, රොස්කෝ තටිල්, නිපුන් කරුණානායක, ඉරෝෂ් සමරසූරිය, දුෂාන් විමුක්ති, ලක්ෂාන් සඳකැන්.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT