Home » අලුත් අවුරුද්දට ගම් බිම් බලා පිටත්වන ජනතාවට බස් රථ 700ක්

අලුත් අවුරුද්දට ගම් බිම් බලා පිටත්වන ජනතාවට බස් රථ 700ක්

by mahesh
April 9, 2025 4:00 pm 0 comment

කොට්ටාව - ප්‍රදීප් කුමාර

උත්සව සමය වෙනුවෙන් ගම් බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා කොළඹ අවට ස්ථාන නවයකින් පිට පළාත් සඳහා බස් රථ 700ක් යෙදවීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන ඇතැයි පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කොමදෝරු ගාමිණී ජාසිංහ මහතා පවසයි.

හෙතෙම මේ බව පවසා සිටියේ බත්තරමුල්ල රන්මගපාය ගොඩනැඟිල්ලේ පිහිටි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රධාන කාර්‍යාලයේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී සභාපති විශ්‍රාමික කොමදෝරු ගාමිණී ජාසිංහ මහතා තවදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවැසීය.

2025 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද තව දින කිහිපයකින් එළඹෙනවා. රට යථා තත්ත්වයට පත්වීමත් සමඟ පෙර වසරවලට වඩා මේ වන විට රෙදිපිළි ලබා ගැනීම ඇතුළු විවිධ අවශ්‍යතා සඳහා වැඩි නැඹුරුවක් දකින්න ලැබෙනවා.

ඒ අනුව එම ජනතාව උත්සව සමයේදී ගම්බිම් බලා යාමට සූදානම් වන නිසා විශේෂ බස්රථ සේවාවක් යෙදවීමට පළාත් ප්‍රවාහන අධිකාරිය මේ වන විට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව ලබන 9 දා සිට 17 දක්වා මෙම විශේෂ බස් රථ 700 යොදවා මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව සභාපතිවරයා පැවසීය. මාවත, කඩවත, කඩුවෙල, කටුනායක, මාකුඹුර, පිළියන්දල, අවිස්සාවේල්ල, හොරණ සහ නුගේගොඩ යන බස් නැවතුම්පොළ වලින් ගමන් ආරම්භ කිරීමට නියමිත බැවින් කොළඹට ගොස් අනවශ්‍ය තදබදයකට ලක්වීම වළක්වාගෙන ඉහත සඳහන් ස්ථානවලට පැමිණ තම සේවාවන් ලබාගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT