මිනිපේ මහ ගොවි ජනපදයේ 2024/25 මහ කන්නයේ අස්වනු නෙළීම 90%ක පමණ ප්‍රමාණයක් මේ වන විට අවසන් වී ඇති බවත්, ගොවියාගේ වී නිෂ්පාදන අලෙවි මණ්ඩලය මිල දී ගැනීමට අදාළ ගබඩා සුදානම් කර තිබුණත් එකදු ගොවියකුවත් ගබඩාකරා වී රැගෙන විත් නැති බව වී අලෙවි මණ්ඩලය සඳහන් කරයි.
මිනිපේ මහ ගොවි ජනපදයේ පළවැනි පියවරේ අක්කර 5483ක් සහ දෙවැනි පියවරේ අක්කර 5145ක් වශයෙන් අක්කර 10, 628ක පමණ ප්‍රමාණයක් සඳහා සෑම කන්නයකම වී වගා කිරීම සඳහා මහවැලි ජලය සපයනු ලබයි.
මෙම ගොවියාගේ වී මිල දී ගැනීම සඳහා වසර ගණනාවක සිට අතහැර දමා අපවිත්‍රව අබලන්ව භාවිතයට ගත නොහැකිව තිබු හසලක වී මෝල් සංකීර්ණය, පල්ලේවත්ත හා මොරයාය යන ප්‍රදේශවල පිහිටි වී ගබඩා විශාල මුදලක් වැය කර යුද හමුදා කණ්ඩායම් යොදවා සුද්ධ පවිත්‍ර කරනු ලැබීය.
මෙම ගබඩා සඳහා ගොවියා වී රැගෙන ඒවියැයි මණ්ඩලය අපේක්ෂා කළත් ගොවියා මණ්ඩලය කරා වී රැගෙන විත් නොමැති අතර එම ගොවියා තම නිෂ්පාදන කමතටම එන පෞද්ගලික වෙළෙන්දාට අලෙවි කළ බව ගොවි සංවිධාන නියෝජිතයෝ සඳහන් කරති.
ගොවියා වී අලෙවි මණ්ඩලයට වී නොදීමට ප්‍රධාන හේතුව වශයෙන් ගොවීන් සඳහන් කරන්නේ ගබඩාවට වී දෙනවා නම් එම වී කුලියට ලබා ගන්නා ලොරි රථයක හෝ ට‍්‍රැක්ටරයක පටවාගෙන ඒම වාහනවලට අධික කුලියක් ගෙවා ගබඩා කරා රැගෙන යෑමට සිදුවෙන බවත් එම වී ඉතා උසස් ලෙස වියළා දිය යුතු බවත් වී මිල දී ගැනීමේදි ගෝනියට (වී පුරවන මල්ලට) යම් ප්‍රමාණයක් කපා ගන්නා (මිලි ග්‍රෑම් 500ක් පමණ) බවත් වී දෙන අවස්ථාවේම මුදල් නො දී බැංකුවෙන් මුදල් ගැනීමට ලදු පතක් නිකුත් කිරීම නිසා යායේ වැඩ තිබෙන අවස්ථාවේ තවත් දිනයක් දෙකක් කිලෝ මීටර් 7ක් – 8ක් වැනි දුර ගෙවා කාලය නාස්ති කර බැංකුව කරා පැමිණීමට ගොවියාට සිදුවෙන නිසා බවයි.
රජය වී කිලෝව රුපියල් 120/-ට මිල නියම කර තිබිය දී පෞද්ගලික වෙළෙන්දා වී කිලෝව රුපියල් 130/-ට සහ ඊට වැඩිය මිලකට ගැනීමද ගොවියා රජයට වී නොදීමේ තත්ත්වයක් බව ද කෙතේ කමතට හෝ අස්වනු නෙළන කුඹුරටම පැමිණෙන පෞද්ගලික වෙළෙන්දා වීවල තෙතමනය පරීක්ෂා කිරීමක් නොකර ඔහු රැගෙන එන මල්ලටම වී පුරවා කිරාගෙන අදාළ ප්‍රමාණය සඳහා එම අවස්ථාවේම මුදල් ලබා දෙන නිසා පෞද්ගලික වෙළෙන්දාට ගොවියා තම නිෂ්පාදන ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කරන බවත් ගොවි නියේජිතයෝ සඳහන් කරති.
වී අලෙවි මණ්ඩලය පණවන ඇතැම් කොන්දේසි නිසා ගොවියා වී අලෙවි මණ්ඩලයෙන් ඈත් වී පෞද්ගලික වෙළෙන්දා කරා යන තත්ත්වය අද දක්නට ලැබෙන බවත් මෙය වෙනස් කර පෞද්ගලික වෙළෙන්දා අනුගමනය කරනු ලබන ක්‍රියාදාමයට අලෙවි මණ්ඩලය ද අනුගතව කටයුතු කළහොත් මණ්ඩලයට වී දීමට ගොවියා කැමැත්ත පළකරාවි යැයි තමන් විශ්වාස කරන බව ද ගොවි නියෝජිතයෝ පවසති.
ගබඩාවලට වී නොලැබීම සම්බන්ධයෙන් අප කළ විමසීමේදි තම නම හෙළිකිරීමට අකමැති වු වී අලෙවි මණ්ඩලයේ මිනිපේ කොට්ඨාසය භාර නිලධාරි මහතකු පැවසුවේ මෙවර 2024/25 මහ කන්නයේ වී මිල දී ගැනීමට තම ආයතනය සුදානම් වී පල්ලේවත්ත සහ මොරයාය යන ප්‍රදේශවල කලක් අතහැර දමා තිබු ගබඩා දෙකට අමතරව හසලක සහල් මෝල් සංකීර්ණය පිරිසිදු කර ජනපදයේ ගොවියාගේ නිෂ්පාදන මිල දී ගැනීමට සුදානම්ව සිටියත් ගොවියන් ගබඩා කරා වී රැගෙන නො ආ බවයි. එම නිසා තම ආයතනය අපේක්ෂා කළ ඉලක්කයට යාමට නොහැකි වු බව ද හේ පැවසීය.