Home » මිලියන 32ක් වැය කර ඉදිකරනු ලැබූ හල්ඔළුව බස් නැවතුම්පොළ සුදු අලියෙක්

මිලියන 32ක් වැය කර ඉදිකරනු ලැබූ හල්ඔළුව බස් නැවතුම්පොළ සුදු අලියෙක්

විවෘත කර අවුරුදු පහහමාරයි තවමත් බස් ටික මහ පාරේ

by mahesh
April 9, 2025 4:00 pm 0 comment

කටුගස්තොට සමූහ - එස්.ජී. විජේරත්න
හල්ඔ­ළුව මංස­න්දියේ බස් රථ ගාල් කර ඇති අයුරු

මීට වසර පහහමාරකට පමණ පෙර එනම් 2019 සැප්තැම්බර් මස 26 වැනිදා ජනතා අයිතියට පත්කරනු ලැබූ හල්ඔළුව බස් නැවතුම්පොළ සුදු අලියෙක් බවට පත්ව ඇතැයි ප්‍රදේශවාසිහු චෝදනා කරති. එවකට පැවති යහපාලන රජය සමයේ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ සුඛිත පුරවර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙම බස් නැවතුම්පොළ ඉදි කිරීමට වැය කර ඇති මුදල රුපියල් මිලියන 32කි. කඩ කාමර 15කින් පමණ සමන්විත දෙමහල් ගොඩනැඟිල්ලක් සහිතව ඉදිකර තිබෙන බස් නැවතුම්පොළ අද වනවිට රථ ගාලක් බවට පත්ව තිබෙන අයුරු එහි ගිය අපහට දැක ගැනීමට හැකිවිය.

කෑගල්ල, මාවනැල්ල, කඩුගන්නාව, හැටන්, නාවලපිටිය, නුවරඑළිය, ගම්පොළ ආදී ප්‍රදේශවල සිට මාතලේ, වත්තේගම ආදි ප්‍රදේශ කරා ධාවනය වන වාහන මහනුවර නගරය භාවිත නොකර ගමන් කිරීමට විකල්ප මාර්ගයක් ලෙස භාවිත කරන කටුගස්තොට ගැටඹේ (බී-365) මාර්ගයත් ඉහත සඳහන් කළ ප්‍රදේශවල සිට ගලගෙදර කුරුණෑගල දෙසට ධාවනය වන වාහන ගමන් කිරීමට භාවිත කරන දූල්වල හරහා බරිගම මාර්ගයත් සම්බන්ධ වෙන ස්ථානය පිහිටා තිබෙන්නේ හල්ඔළුව මංසන්ධියේය. එබැවින් හල්ඔළුව මංසන්ධියේ නිතරම අධික වාහන තදබදයක් පවතින අයුරු දක්නට ලැබේ. දෛනිකව හල්ඔළුව සිට මහනුවර දක්වා බස් රථ 12ක් පමණ ධාවනය වන අතර එම බස් රථ හල්ඔළුව මංසන්ධියේ ගාල්කර තිබීම හේතුවෙන් සිදුවෙන තදබදය අවම කිරීමේ අටියෙන් මෙම බස් නැවතුම්පොළ ඉදිකර තිබෙන අතර එය ඉදිකර වසර පහමාරක් පමණ ඉක්ම ගොස් තිබුණත් අදටත් බස්රථ ධාවනය ආරම්භ වන්නේ හල්ඔළුව මංසන්ධියේ සිටය.

විශාල මහජන මුදල් කන්දරාවක් වියදම් කර ඉදිකර තිබෙන බස් නැවතුම්පොළ භාවිතයට නොගැනීම සම්බන්ධව හල්ඔළුව කටාරංගල රජමහා විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය පිටකන්නේ ඤාණානන්ද හිමියෝ අදහස් දක්වමින් මෙසේ පැවසූහ.

‘බස් නැවතුම්පොළ හදලා වසර පහමාරක් විතර වෙනවා. තවම බස් නැවතුම් පො‍ළේ බස් නවත්වන්නේ නැහැ. සුපුරුදු විදිහට බස් නවත්වන්නේත් සෙනඟ නංවා ගන්නෙත් හල්ඔළුව හන්දියේ සිට. බස් නැවතුම්පොළේ බස් රථ නවත්වන්නේ නැති නිසා එතන දැන් රථ ගාලක් බවට පත්වෙලා. බස් නැවතුම්පොළ නමට පමණක් සීමා වෙලා. මේ බස් නැවතුම්පොළ හදලා තියෙන්නේ මහවැලියට අයත් ඉඩමක. හල්ඔළුව හන්දියේ තියෙන ත්‍රිරෝද රථ ගාලත් බස් නැවතුම්පොළ ඉදිරි පිටට ගේන්න තමයි සැලසුම් කරල තිබුණේ. නමුත් ත්‍රීවීල් ටික අදටත් ගාල්කර තියෙන්නේ හල්ඔළුව හන්දියේ. මමත් වසර 45ක් විතර ගමේ විහාරස්ථානයේ වැඩ වාසය කරන්නේ. බස් නැවතුම හදන විට අපිත් සතුටු වුණා. අපිට කියන්න තියෙන්නේ මේ වැය කරලා තියෙන්නේ මහජන මුදල් කියන එක තමයි.’ බස් නැවතුම්පො‍ළෙන් බස් රථ ධාවනය ආරම්භ කිරීම තවමත් සිදුනොවීම ගැන අප හා අදහස් පළ කළ හිටපු ශ්‍රී ලංගම ඩිපෝ ඉංජිනේරුවරයකු වන එම්.ජී. ජයසූරිය මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.

‘ඇත්තටම අපිට හිතා ගන්න බැහැ. කෝටි තුනහමාරක් විතර මුදලක් වියදම් කරල හදපු බස් නැවතුම්පොළෙන් බස් රථ ධාවනය ආරම්භ නොකිරීමට හේතුව මොකක්ද කියල. අදටත් බස් රථ ධාවනය ආරම්භ වෙන්නේ හල්ඔළුව මංසන්ධියෙන්. එතන නිතරම බස් තුන හතරක් ගාල්කර තියෙනවා. අපි ඉල්ලා සිටිනවා වත්මන් රජයවත් මැදිහත්වෙලා බස් නැවතුමෙන් බස් රථ ධාවනය ආරම්භ කරන්න කියල. පාර අයිනේ තිබුණු පෙට්ටි කඩ ටික කඩල බස් නැවතුම්පොළේ කඩ හදල දුන්නා. ඒවටත් හරි හමන් බිස්නස් එකක් නැහ. සමහර කඩ වහල දාලා. අපි ඉල්ලන්නේ දැන්වත් මේ ගැන අවධානය යොමුකරන්න කියලා.

අපි මේ ගැටලුව සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගෙන් විමසීමක් කළ අතර අමාත්‍යවරයා පවසා සිටියේ මේ සම්බන්ධව තමන් දැනුම්වත්ව සිටින බවත් ඒ සඳහා කඩිනම් අවධානය යොමු කරන බවයි.

බස් නැව­තු­ම්පොළ

බස් නැව­තු­ම්පොළ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT