ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටි අන්නාසි වගාවට අවශ්‍ය විශාල ඉඩම් වැඩි ලාභ ලබා ගැනීමේ අරමුණින් කැබලි කර විකිණීම නිසා අන්නාසි වගාවට අවශ්‍ය විශාල ඉඩම් නොමැතිකමින් අන්නාසි වගා කටයුතුවල නිරත ව්‍යාපාරිකයන් විවිධ දුෂ්කරතාවලට මුහුණපා ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
එම හේතුව නිසා අන්නාසි වගා කටයුතුවල නිරත වෙළෙඳ ව්‍යාපාරිකයන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පිට ඈත ප්‍රදේශවල අන්නාසි වගා කටයුතුවල නිරත වීම නිසා ඔවුන්ට ප්‍රවාහන කටයුතුවලට වැඩි මුදලක් වැය කිරීමට සිදුවන නිසා ඔවුන් විවිධ පීඩාවලට ලක්ව සිටිති. මේ වනවිට අන්නාසි වගා කටයුතුවල නියැළීමට පුහුණු ශ්‍රමිකයන් යොමු නොවීමත් එම ශ්‍රමිකයන්ට ඒ සඳහා වැඩි වැටුපක් ගෙවීමට සිදුවන නිසා අන්නාසි වගාකරුවන් විවිධ දුෂ්කරතාවලට මුහුණපා සිටිති.
මීට අමතරව අන්නාසි වගා කටයුතු සඳහා අවශ්‍ය කෘෂි රසායනික පොහොරවල මිල අධික වීම නිසා අන්නාසි වගා කරන වෙළෙඳ ව්‍යාපාරිකයන් විවිධ ගැටලුවලට මුහුණපා සිටිති. මේ දිනවල පවතින දැඩි වර්ෂාව හේතුවෙන් අන්නාසි ඵලදාව ඉතා ඉක්මනින් ඉදී කුණුවී නරක් වන බවට වගාකරුවන් මැසිවිලි නඟති. මීට අමතරව සමහර වගාකරුවන් ඵලදාව වැඩි කර ගැනීමට විවිධ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම නිසා අන්නාසිවල ගුණාත්මක මට්ටම පහළ වැටීම නිසා පාරිභෝගික ජනතාව අන්නාසි මිලදී ගැනීමට මැළිකමක් දක්වති.
මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටි මිනුවන්ගොඩ, මීරිගම, ගිරිඋල්ල, කිරිඳිවැල, රදාවාන, උඩුගම්පොළ, දොම්පේ යන ප්‍රදේශවල වගාකරුවන් අන්නාසි වගා කටයුතුවල වැඩි වශයෙන් නිරතව සිටිති.
ඉඹුල්ගොඩ, බැලුම්මහර ප්‍රදේශයේ අන්නාසි වෙළෙඳාමේ නිරත ආර්.පී. නුවන් මධුසංඛ මහතා මෙසේ පැවසීය.
“මේ වනවිට අන්නාසි වගා කටයුතු සඳහා අවශ්‍ය විශාල ඉඩම් ගම්පහ දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍රයෙන් කැබලි කර විකිණීම නිසා අපට වෙනත් ඈත දිස්ත්‍රික්කවල පිහිටි විශාල ඉඩම්වල අන්නාසි වගාවට යොමු වීමට සිදු වනවා. මේ නිසා අන්නාසි ප්‍රවාහනය කිරීම සඳහා වැඩි මුදලක් වැය වන නිසා අපි විවිධ පීඩාවලට ලක්ව සිටිනවා. මේ වනවිට අන්නාසි වගා කටයුතු සඳහා තරුණ පරපුර යොමු වන්නේ නැහැ. එම නිසා අන්නාසි වගා කරන ශ්‍රමිකයන්ගේ වැටුප ඉහළ යාම නිසා අපට අන්නාසි ගෙඩියක මිල ඉහළ දැමීමට සිදු වන නිසා අන්නාසි මිලදී ගැනීමට පාරිභෝගික ජනතාව එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ.
මේ වනවිට අන්නාසි වගා කටයුතුවලට විශාල පිරිවැයක් දැරිය යුතු නිසා එම පිරිවැයට අදාළව අපට අන්නාසි වගාවෙන් ලාභයක් ලැබෙන්නේ නැහැ. අපිට අන්නාසි අපනයනය කිරීමට සහ අන්නාසි වගා කටයුතු සඳහා සහන පොලී පදනම මත ණය ලබා ගැනීම සඳහා රජය එතරම් අනුග්‍රහයක් දක්වන්නේ නැහැ.
බැලුම්මහර, ඉඹුල්ගොඩ ප්‍රදේශයේ අන්නාසි වෙළඳාමේ නිරත එම්.ඩී.ක්‍රිෂාන්ත මහතා මෙසේ පැවසීය.
“මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ අන්නාසි වගා කර තිබූ විශාල ඉඩම් කැබලි කර විකිණීම නිසා අන්නාසි වගා කිරීමට ඉඩම් සොයා ගැනීමේදී අපි විවිධ ගැටලුවලට මුහුණපා සිටිනවා. මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ අන්නාසි වගා කටයුතු සඳහා ඉඩම් නොමැතිකමින් පිට ප්‍රදේශවලින් ඉඩම් සොයා අන්නාසි වගා කිරීමේදී ප්‍රවාහන ගාස්තු ඉහළ යාම නිසා අපි විවිධ කරදරවලට මුහුණපා සිටිනවා. මේ වනවිට අන්නාසි ගෙඩියේ බර වැඩි කර ගැනීමට අන්නාසි වගාකරුවන් ප්‍රමිතියෙන් තොර විවිධ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම නිසා අන්නාසි ගෙඩියේ ස්වභාවික රසය නොමැති නිසා පරිභෝගික ජනතාව අන්නාසි මිලදී ගැනීමට මැළිකමක් දක්වනවා.