Home » පොදු අරමුණකින් යන ජාතික වැඩපිළිවෙළ ගමට ගෙනියන්න අවස්ථාව දෙන්න

පොදු අරමුණකින් යන ජාතික වැඩපිළිවෙළ ගමට ගෙනියන්න අවස්ථාව දෙන්න

බියගම ප්‍රාදේශීය සභා අපේක්ෂක ප්‍රියන්ත රණසිංහ (ජාතික ජන බලවේගය)

by mahesh
April 9, 2025 4:00 pm 0 comment

තක්ෂිලා උදයංගනී

තනි පක්ෂයක් විදියට ජාතික ජන බලවේගය මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඉතා හොඳ සංවිධානාත්මක ශක්තියකින් යුතුව බවත්, පසුගිය මහ මැතිවරණයෙන් පක්ෂය ලද ජයග්‍රහණය අර්ථවත් කර ගැනීමට නගර සභා, ප්‍රාදේශීය සභා වෙත දූෂණයෙන්, වංචාවෙන් තොර, ඉතා හොඳ පෞර්ෂයකින් යුතු කණ්ඩායම් ඉදිරිපත් කර ඇති බවත්, ඔවුන් දිනවමින් ජාතික වැඩපිළිවෙළ ගමට ගෙන යෑමට අවශ්‍ය වටපිටාව සකසා දෙන ලෙසත් බියගම ප්‍රාදේශීය සභාවේ පහළ බියන්විල බටහිර කොට්ඨාස අපේක්ෂක ප්‍රියන්ත රණසිංහ මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

“අපේ පක්ෂයට තනි අරමුණු නෑ. අපි වැඩ කරන්නේ පොදු අරමුණක් උදෙසායි. ජාතික වශයෙන් මේ ගෙවුණු මාස කිහිපයට අප කළ වැඩ කොටස හා අප ඒ සඳහා වියදම් කර ඇති රාජ්‍ය මුදල් පිළිබඳව සංසන්දනයක් කළොත් වෙනත් පක්ෂ කිසිවකට අපට ළං වෙන්නවත් බෑ. අපට හතරවටින් පහර පිට පහර එල්ල කරන්නේ, තම තමන්ගේ මඩිය තර කර ගනිමින් ජනතාව පිට නැඟී ගොඩ ගිහින් දැන් කරකියා ගන්න දෙයක් නැතිව ඉන්න පිරිස විතරයි. ජාතික වශයෙන් ඒ කරන වැඩ කොටස ග්‍රාමීය වශයෙන් ජනතාවට දැනෙන්න කරන්න නම් අපට ප්‍රාදේශීය සභා, නගර සභා ටික අනිවාර්යයෙන් ජයග්‍රහණය කළ යුතු වෙනවා.

කකුලෙන් ඇදිලි නැතිව, දූෂණයෙන්, වංචාවෙන් අක්‍රමිකතාවලින් තොරව, ජනතා බදු මුදලට සාධාරණයක් කරමින් ජනතා මෙහෙවරක් කිරීමට අප කණ්ඩායමක් වශයෙන් පෙළ ගැසී සිටිනවා.

අපේ ජයග්‍රහණය තහවුරු කර, ජනතාවාදී කණ්ඩායමක් පළාත් සභාවලට පත් කර ඔබේ සේවය ඉතා විනිවිදභාවයෙන් යුතුව කිරීමට අපේ කණ්ඩායමට අවස්ථාව ලබා දෙන්නැයි මා සහෝදර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT