මේ රටේ ජනතාව දහසක් බලාපොරොත්තු තබාගෙන වත්මන් රජය බලයට පත් කළත් දැන් එම බලාපොරොත්තු සුන් වී ඇති බවත්, මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජනතාව රෑ වැටුණු වළේ දවල් වැටෙන්නට සූදානම් නැති බවත් බියගම ප්‍රාදේශීය සභා බියගම – උතුර / නැඟෙනහිර කොට්ඨාස සමගි ජනබලවේගයේ අපේක්ෂක දේශබන්දු දමින්ද තුෂාර වික්‍රමආරච්චි මහතා පැවසීය.
ඔහු වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.
“අද ජනතාවට තිබෙන එකම විකල්පය සමගි ජනබලවේගය බවට ජනතාව වටහාගෙන තිබෙනවා. ඒ නිසා පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහා මැතිවරණයේදී ජාතික ජනබලවේගයට ජන්දය දුන් බොහෝ පිරිස් දැන් සමගි ජනබලවේගය වටා එක්රොක් වෙමින් සිටිනවා. එබැවින් මෙවර පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතන බහුතරයක බලය අපට ලබා ගැනීමට හැකි වන බවට අප තුළ දැඩි විශ්වාසයක් පවතිනවා. ඒ තුළින් සමගි ජනබලවේගයේ ඉදිරි ජයග්‍රාහී මාවතට පසුබිම නිර්මාණය කරගන්නට අපට ශක්තිය ලැබෙනවා. බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ බණ්ඩාරවත්ත, දෙල්ගොඩ, මාවරමණ්ඩිය හා මාකොළ යන නගර සංවර්ධනය කිරීම සඳහා කිසිම පියවරක් ගෙන නැහැ. එම නගර බොහොමයකම පොදු වැසිකිළි – කැසිකිළි පහසුකම් නැහැ. මාර්ගවල වීදි පහන් රැසක්ම අක්‍රියයි. කානු පද්ධති නැහැ. ඒ නිසා මෙවර සමගි ජනබලවේගයට බියගම ප්‍රාදේශීය සභාවේ බලය ලැබුණහොත් ප්‍රදේශයේ යටිතල පහසුකම් වැඩිදියුණු කරමින් බියගම ප්‍රාදේශීය සභාව වංචාව, දූෂණය හා අල්ලසින් තොර පිරිසුදු කාර්යක්ෂම ආයතනයක් බවට පත් කරනවා. ඒ සඳහා බියගම ජනතාවගේ සහාය අපට ලබා දෙන්න.”