Home » පස් වසරක වැඩ පස් මසකින් කරන්න බෑ: මේ මාස පහට අපි වැඩ කළා

පස් වසරක වැඩ පස් මසකින් කරන්න බෑ: මේ මාස පහට අපි වැඩ කළා

මාලිම්බඩ ප්‍රාදේශීය සභා අපේක්ෂක - නිලන්ත රණවීර (ජාතික ජන බලවේගය)

by mahesh
April 9, 2025 4:00 pm 0 comment

වජිර පූජිත ගුණවර්ධන - තෙලිජ්ජවිල සමූහ

අවුරුදු පහකින් කරනවා කී දේ මාස පහකින් කළ නොහැකි වුවත් මාස පහට සරිලන වැඩ කොටසක් වත්මන් ආණ්ඩුව විසින් සිදු කරනු ලැබ ඇතැයි මෙවර පළත් පාලන මැතිවරණයට මාලිම්බඩ ප්‍රාදේශීය සභාවේ, තෙලිජ්ජවිල කොට්ඨාසයෙන් තරග වදින ජාතික ජන බලවේගයේ අපේක්ෂක, කණ්ඩායම් නායක නිලන්ත රණවීර මහතා පැවසීය.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීය.

“අපි මේ වන විට මැතිවරණ දෙකක් ජයග්‍රහණය කර තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි ඉල්ලුවෙත් නැතුව තුනෙන් දෙකක් ලබා දුන්නා. ඉතිහාසයේ කිසිදු දේශපාලන ව්‍යාපාරයක් තනි පක්ෂයක් විදිහට මෙතරම් ජයග්‍රහණයක් ලබාගෙන නැහැ. ඒ නිසාම මේ මැතිවරණය අපට ලොකු අභියෝගයක් නෙවෙයි. මේ ඉන්න ඔබ මම ඇතුළු සියලුම දෙනාගේ මැදිහත්වීම සහ කැපවීම මත තමයි ඒ ජයග්‍රහණය ලබා ගත්තේ. ඒ වෙලාවෙ ලොකු අමාරුකම් මැද තමා ඒ ජයග්‍රහණය ලබා ගත්තේ. ඊළඟට පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේ ජනාධිපතිවරයකු සිටියත් අපි කිසිම තැනක රාජ්‍ය බලය පාවිච්චි කළේ නෑ. ඒ මැතිවරණයේදී සමාජයේ යම් මතයක් තිබුණා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළාට මහමැතිවරණය ජයගන්න බෑ කියලා. එහෙත් අපට පුළුවන්කම ලැබුණා රටේ ජනතාවගේ කැමැත්ත මත දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගන්න. මෙවරත් සමාජයේ යම් අදහසක් පැතරෙමින් යනවා විපක්ෂය ජය ගන්නවා, මැතිවරණයෙන් පසුව අගමැතිකමට වෙනත් කෙනකු පත් කරාවි ආදී වශයෙන්. ඒත් මේ මැතිවරණයත් අපි අනිවාර්යෙන්ම දිනනවා. මේ රට යම් ස්ථාවරයකට ගෙනත් තියෙන වෙලාවක් මේක. ඒ වගේම අපට ඡන්දය නොදී ඉන්න තරම් මේ මාස පහක ආණ්ඩු කාලේ අපි කරපු වැරදි එකක් හරි තිබුණා නම් කියන්න. ඒගොල්ලන්ට කියන්න තියෙන එකම දේ තමයි කියපු දේවල් කළේ නෑ කියලා. අපි වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඇත්තේ අවුරුදු පහකට. අවුරුදු පහක ඒවා මාස පහෙන් ඉවර කරන්න බෑ. නමුත් ඒ මාස පහේදී සැලකිය යුතු වැඩ කොටසක් කළා. ගමේ පළාත් පාලන ආයතන බලප්‍රදේශයේ තීන්දු තීරණ ගන්නෙ එම පළාත් පාලන ආයතනයේ සභාපතිවරයා. නමුත් පහුගිය කාලේ එහෙම වුණේ නෑ. ඒ විදියේ බාධා අපට නෑ. ඇමැතිවරයා කියන දේ හෝ එහෙම නැත්නම් දිස්ත්‍රික්ක නායකයා කියන දේ නොව, පක්‍ෂයේ වැඩපිළිවෙළ තමා අප සියලුම දෙනාගේ දැක්ම. එබැවින් මේ මැතිවරණය නියත වශයෙන්ම ජයග්‍රහණය කරමු.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT