Home » අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතේ සාමාන්‍ය පුරවැසියකුට හිරිහැරයක් වන කිසිදු වගන්තියක් නැහැ

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතේ සාමාන්‍ය පුරවැසියකුට හිරිහැරයක් වන කිසිදු වගන්තියක් නැහැ

by mahesh
April 9, 2025 4:00 pm 0 comment

සාමාන්‍ය පුරවැසියකුට හිරිහැරයක් කළ හැකි කිසිදු වගන්තියක්, අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතේ අන්තර්ගත නොවන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැති හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) පැවසීය.

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

පොදු දේපොළ සොරකම් කළ අයගේ දේපොළ නැවත ලබා ගත යුතුයි කියන පදනම ඇතිව ජාතික ජන බලවේගය බලයට පැමිණියා. ඒ නිසා මේ පනත සම්මත කර ගැනීමත් සමඟ අද ඓතිහාසික දවසක් වෙනවා. සොරකම් කර ගත් දේපොළවලින් සතුටින් ජීවත් විය නොහැකියි. මේ නීතිය ගෙන එනවාට කිසිදු සාධාරණ මිනිසෙක් කෙඳිරි ගාන්න ඕන නැහැ. එහෙම කෙඳිරි ගානවා නම් ඒ පුද්ගලයා පොදු දේපොළ සොරකම් කළ කෙනෙක් වෙන්න ඕනෑ. මේ තුළින් මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදු වන බවට කවුරු හෝ සිතනවා නම් ඒ ගැන අධිකරණයට යා යුතුයි. නමුත් එවැනි දෙයක් සිදුව නැහැ. අපරාධයකින් උත්පාදිත දේ රාජසන්තක කිරීම ද අපරාධ කිරීම වැළැක්වීමට සහාය දෙනවා. මල්වාන වගේ දේපොළවලට අයිතිකාරයෙක් නැහැ. ඒ වගේ තැනකදී ඒවා රාජසන්තක කිරීමට හැකියාවක් තිබෙනවා. පුද්ගලයා වෙනුවට සොරකමෙන් උත්පාදිත දේපොළවලට තමයි මේ නඩු පැවරීම කරන්නේ. මේ පනත ගෙන ඒමට උනන්දු කරවීම සඳහා ජනාධිපතිවරයා කටයුතු කළා. ඒ ගැන මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. කමිටුව හරහා මේ නීතිය ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය කටයුතු කරනවා. මේ පනත හොඳ නැහැ කියලා අද කවුරුත් කීවේ නැහැ. හීං කන්කෙඳිරියක් තිබුණත් මෙය ක්‍රියාවට නැංවිය යුතු බවට කවුරුත් පිළිගන්නවා. අපරාධකියන් උත්පාදනය කළ දේ කළමනාකරණයට කමිටුවක් පිහිටුවීමත් මෙමඟින් සිදු කරනවා. එය ඉතාම අවශ්‍ය වෙනවා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට, පොලිසියට නීතිය ක්‍රියාත්මක කිරීමට මේ පනතෙන් බලය පැවරෙනවා. මේ පනත තුළ වැදගත් වගන්ති කිහිපයක් තිබෙනවා. 32 වැනි වගන්තිය, 34 වැනි වගන්තිය ඉතා වැදගත් වගන්ති වෙනවා. කාට හරි තමන්ගේ දේපොළ ගැන පැහැදිලි කිරීමක් කළ නොහැකි නම් එම දේපොළ සොරා ගත් එකක් බවට පූර්ව නිගමනයක් කිරීමට මේ පනතෙන් හැකි වෙනවා. 2016 වසරේ සිට මේ පනත ගැන කතා කළාට ක්‍රියාවට නංවන්නේ අපි.

එහෙම වන්නේ අපිට සැබෑ වුවමනාවක් තිබෙන නිසා. අනෙක් අය ඒවා ඩ්‍රාෆ්ට් කරලා පාර්ලිමේන්තුවට දැම්මත් සම්මත කර ගන්නා වුවමනාවක් කරන්නේ නැහැ. ඒ නිසා තමයි එය සම්මත කර ගන්න බැරි වුණේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT