අපරාධකරුවන්ගේ දේශයක් වූ රටේ අල්ලස දූෂණය වංචාව ඉතා බහුලව තිබුණා. මෙවැනි සාධනිය පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විට සම්මත කර ගැනීමට වටපිටාව සකස් කිරීම ගැන ස්තූති කළ යුතුයි. පසුගිය කාළේ රාජ්‍ය මුදල් අවභාවිත රාශියක් වාර්තා වුණා. මේවා විමර්ශන තුළින් හෙළිකර ගැනීම පහසු වුණේ නැහැ. මේ පනත තුළින් ඒ බාදා ඉවත් කර ගැනීමට ලැබුණා. අපරාධයකින් උත්පාදිත දේපොළ යළි අත්පත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර සහය ලබා ගැනීම ඇතුළු නෛතික තත්ත්වයන් මේ පනත් කෙටුම්පතේ සඳහන් වෙනවා. පනත් රැසක තිබෙන ඌණ නෛතික තත්ත්ව මගහරවා ගැනීමට මේ පනතින් ඉඩ ලැබී තිබෙනවා. අපරාධයකින් අත්පත්කර ගත් දේපොළ විදෙස් රටක තිබුණ ද එම දේපොළ නැවත මෙරටට ගෙන ඒම වෙනුවෙන් වන ප්‍රතිපාදන අපරාධයකින් අත්පත් කරගත් දේපොළ පිළිබඳ පනත යටතේ හැකියාව ලැබෙන බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළේය.
මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (08) පැවැති විවාදයට සහභාගී වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය.
පසුගිය වකවානුව තුළ රටතුළ සිදුවූ මහා පරිමාණ මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ යුතු අතරම මහා පරිමාණ වංචාකරුවන් විදෙස් රටවලට ගෙනගොස් ඇති ධනය නැවත අත්පත් කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගත යුතුයි. අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත අතිශය වැදගත් පනතක්.