මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලුවලට ස්ථිර විසඳුමක් ලබා දීමට වත්මන් ආණ්ඩුව ඇතුළු පැවති කිසිදු ආණ්ඩුවක් සමත්ව නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේ ස්ථාවර නියෝග 27 (2) යටතේ පරාටේ නීතිය නැවත සක්‍රිය වීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතුකරමිනි.
තවදුරටත් විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.
මේ වන විට අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට පනවා ඇති ප්‍රතිචාරාත්මක බදු නිසා මේ කර්මාන්තකරුවන් පමණක් නොව සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රයම දැඩි අර්බුදයකට මුහුණ දී තිබෙනවා. එබැවින් මෙරට කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතුයි. 1990 අංක 4 දරන බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අය කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත යටතේ බැංකුවලට දේපොළ වෙන්දේසි කිරීමට ඇති බලතල අත්හිටුවීම 2025 මාර්තු 31 වැනිදා සිට අවසන් වෙනවා.