පළාත් පාලන පනතට අනුව තරග කර විවිධ පක්ෂ නියෝජනය කරමින් ජයග්‍රහණය කරන බහුතරයක් දෙනාට එකතු වී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට හැකි බවත්, මෙය සැලකිල්ලට ගනිමින් ජාතික ජන බලවේගයේ නොවන මන්ත්‍රීවරුන් සම්බන්ධ කරගෙන සභාවල බලය අත්පත් කරගැනීමට සාකච්ඡා කරන බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පෙරේදා (07) මහනුවර පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.
“අපට අවශ්‍ය පාට සහ පක්ෂ භේදයෙන් තොරව ජාතික ජන බලවේගයට එරෙහි බලවේග සියල්ල එකතු කරගන්නයි. ජාතික ජන බලවේගය ගමන් කරන දිශාව ඒකාධිපති ස්වරූපයක් ගෙන තිබෙනවා. මේක ඉතා භයානක තත්ත්වයක්. මහජන මතයටත් විරුද්ධයි. මේ නිසා පළාත් පාලන ආයතනවලට තරග කරන ජාතික ජන බලවේගයේ නොවන සියලු කණ්ඩායම් ඒකාරාශි කරගැනීම වෙනුවෙන් සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
පළාත් පාලන ආයතන බහුතරයක බලය අපට ලබා ගත හැකියි. මේ ආණ්ඩුවේ කඩාවැටීම ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලත් සමඟ ආරම්භ වෙනවා. මැයි 06 කියන්නේ මේ රටට තීරණාත්මක දවසක්. ජනතාවට පුළුවන් තමන් තැබූ විශ්වාසය කඩ කළ ආණ්ඩුවට විරෝධය පළ කරන්න. ඒ වගේම හොඳ පළාත් පාලන ව්‍යුහයක් ගොඩනඟන්නත් දැන් ජනතාවට අවකාශ තිබෙනවා.”