Home » පිල්ලෙයාන් අත්අඩංගුවට ගත් හේතුව මෙන්න
නැ‍ඟෙනහිර සරසවියේ උපකුලපති මහාචාර්ය රවීන්ද්‍රනාත් සුබ්‍රමනියම් අතුරුදන්වීම:

පිල්ලෙයාන් අත්අඩංගුවට ගත් හේතුව මෙන්න

by mahesh
April 9, 2025 12:56 pm 0 comment

ගයාන් කුමාර වීරසිංහ

හිටපු රාජ්‍ය ඇමැතිවරයෙක් මෙන්ම නැ‍ඟෙනහිර පළාත් මහ ඇමැතිවරයෙක් ලෙස කටයුතු කළ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මඩකලපුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (08) රාත්‍රියේදී අත්අඩංගුවට ගනු ලැබීය.

නැ‍ඟෙනහිර විශ්වවිද්‍යලයේ උපකුලපති මහාචාර්ය රවීන්ද්‍රනාත් සුබ්‍රමනියම් මහතා අතුරුදන්වීම ඇතුළු පුද්ගල පැහැරගැනීම් සහ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

මහාචාර්ය රවීන්ද්‍රනාත් සුබ්‍රමනියම් මහතා අතුරුදන්වන්නේ 2007 වසරේදීය. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළද පසුව එම විමර්ශන ලිපිගොනුවකට පමණක් සීමාවී තිබුණි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව මෙරට ආන්දෝලනයට තුඩුදුන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය, භාණ්ඩාගාර බැඳුම්කර ගනු-දෙනුව, දිනේෂ් ෂාෆ්ටර් මිය යාම ඇතුළු නොවිසඳුණු අපරාධ 07ක් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර විමර්ශන පවත්වන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබුණි. එම ආන්දෝලනාත්මක අපරාධ අතර මහාචාර්ය රවීන්ද්‍රනාත් සුබ්‍රමනියම් මහතාගේ අතුරුදන්වීම ද ඇතුළත් විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් දීර්ඝ ලෙස කෙරුණු විමර්ශනයකින් අනතුරුව අනාවරණය වූ තොරතුරු මත පිල්ලෙයාන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩකළපුවේ පිහිටි ඔහුගේ කාර්යාලයේදීය. මහාචාර්ය රවීන්ද්‍රනාත් සුබ්‍රමනියම් මහතාගේ අතුරුදන්වීම ඇතුළු පුද්ගල පැහැරගැනීම් සහ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් බොහෝ තොරතුරු මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ අනාවරණයකර ගැනීමට හැකිවනු ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.

සැකකාර පිල්ලෙයාන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ඊයේ රාත්‍රී කාලයේ දී ප්‍රශ්න කරමින් සිටි අතර තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක්ද ක්‍රියාත්මකකර තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT