කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය මඟින් පෙරේදා (07) නිකුත් කළ අතුරු තහනම් නියෝගය ප්‍රකාරව කටයුතු කරන බව මැතිවරණ කොමිසම පවසයි.
අධිකරණය මඟින් වාරණය නොකළ අනෙකුත් ආයතනවල ඡන්ද විමසීම් නියමිත දිනය වන මැයි 06 වැනිදා පැවැත්වෙන බව කොමිසම සඳහන් කළේය.
පෙරේදා (07) නිකුත් කළ අධිකරණ නියෝගයට අමතරව හාරිස්පත්තුව, පන්විල, පාතදුම්බර, උඩ පළාත, කුලියාපිටිය යන ප්‍රාදේශීය සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින්ද අධිකරණ නියෝග නිකුත් කර තිබේ.
සිය නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කීපයක් ඉදිරිපත් කළ රිට් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණය මෙලෙස නියෝග කර තිබේ.