Home » ඉන්දු-ලංකා ගිවිසුම්: හංගන්න කිසිවක් නෑ

ඉන්දු-ලංකා ගිවිසුම්: හංගන්න කිසිවක් නෑ

ඇමැති විජිත හේරත් පාර්ලිමේන්තුවේදී කියයි

by mahesh
April 9, 2025 4:05 pm 0 comment

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

– රටේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව පාවා දෙන්නේ නෑ
– ණය පොලී අනුපාත අඩු කර ගෙවීමේ කාලසීමාව දීර්ඝ කළා
– පෙර ලබාගත් ණය ප්‍රමාණයක් ආධාර ලෙස පරිවර්තනය කළා

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ තෙදින නිල සංචාරය අතරතුර, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව ගිවිසුම් හතක් අත්සන් කළ බවත් එම සියලු ගිවිසුම් මෙරට නීතිපතිවරයා විසින් අනුමත කරන ලද ගිවිසුම් බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) අවධාරණය කළේය.

මෙම සියලු ගිවිසුම් නීතිපතිවරයාට ඉදිරිපත් කර නීතිපතිවරයාගේ අනුමැතිය මෙන්ම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද ඒ ඒ අමාත්‍ය නිලධාරීන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම්වලින් පසුව අත්සන් කර ඇති බවත් මෙම ගිවිසුම් තුළ සැඟවීමට කිසිවක් නොමැති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

මෙම ගිවිසුම් තුළින් මෙරටට වාසි රැසක් අත් වූ බවත් ජාතික ජන බලවේගයේ රජයක් යටතේ කිසිදු ආකාරයකින් රටේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව අභියෝගයට ලක්වන ආකාරයේ කිසිදු ගිවිසුමක් අත්සන් නොකරන බවට සහතික වන බවත් විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ තෙදින නිල සංචාරය සම්බන්ධයෙන් ඊයේ (08) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරයෙන් ශ්‍රී ලංකාවට වාසි රැසක් ලැබුණු බවත් ඒ අතුරින් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව දීර්ඝකාලීනව ඉල්ලා සිටි ඉන්දීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුමකට අත්සන් තැබූ බවත් හෙතෙම පැවසීය. එමෙන්ම මීට පෙර ණය වශයෙන් දුන් ප්‍රදාන, ආධාර බවට පත්කිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එකඟ වූ බවත් ඇමැතිවරයා පැවසීය. ඒ අනුව ඉන්දීය ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට දී ඇති ණය පහසුකමේ පොලී අනුපාතය අඩු කර ගැනීමට සහ එය නැවත අය කර ගැනීමේ කාලසීමාව දීර්ඝ කිරීමට ද එකඟ වූ බව අමාත්‍යවරයා අනාවරණය කළේය.

මෙම අත්සන් තැබූ අවබෝධතා ගිවිසුම් සියල්ල රටට වාසිසහගත බවත් එමඟින් රටේ ජනතාවට ජයග්‍රහණ රැසක් දී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඕනෑම අයකුට මෙම ගිවිසුම් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ පනත හරහා තොරතුරු ලබාගත හැකි බව ද කීය.

මෙම සංචාරය හරහා දෙරට අතර සමාජ, සංස්කෘතික බැඳීම තවදුරටත් ශක්තිමත් වී ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය. එම ශක්තිමත් බැඳීම දරාගත නොහැකි පසුගාමීන් මේ සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල කරන බව ද කීය.

ජාතික ජන බලවේගය රටේ භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීත්වය වෙනුවෙන් ජීවිත පරදුවට තබා ඇති බවත් සෑම විටම රටේ ස්වෛරීත්වය ආරක්ෂා කර ගනිමින් මෙම අවබෝධතා ගිවිසුම්වලට එළඹෙන බවත් අමාත්‍යවරයා කීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් මහතා මෙසේ ද පැවසීය.

අප රජයේ ඉල්ලීම පරිදි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු දූත පිරිසක් පසුගිය දිනවල මෙරට සංචාරයක නිරත වුණා. ලංකාවට පැමිණි ඒ ගමනේදී රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවන් සිදු කළා. දෙරට අතර සංචාරක ක්ෂේත්‍රය, ඩිජිටල්කරණය, දේශපාලනය, බලශක්තිය, කෘෂිකර්මය ආදි අංශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය සම්බන්ධයෙන් විවිධ ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි මැදිහත්වීම් සිදු කළා. මේ සංචාරය හරහා විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන්ට වාසි රැසක් හිමි වෙනවා. වාසි අතර ප්‍රධාන එකක් තමයි පසුගිය කාලය තුළ අපි ඉන්දියාවෙන් ණය ලබාගෙන තිබෙනවා. ඒ ණය සම්බන්ධයෙන් අපේ පැත්තෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළක් අපි ඉල්ලා සිටියා. කියන්න සතුටුයි, මේ රටේ ජනතාවට ඉන්දීය රජය එකඟ වුණා, එම ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් වැඩපිළිවෙළක් ආරම්භ කරන්නට. ඒ වගේම අපි මීට පෙර ගත් ණය ප්‍රමාණයක් ආධාර වශයෙන් පරිවර්තනය කරන්නටත් එකඟ වුණා. ඒක විශාල වාසියක්. ඒ වගේම පසුගිය ආර්ථික අර්බුදය අවස්ථාවේ අපි ණයක් ලබාගෙන තිබුණා. ඒ ණයේ පොලී ප්‍රතිශතය අඩු කිරීමට හා ණය ගෙවන කාලය දීර්ඝ කරන ලෙස අපි ඉල්ලා සිටියා. එයත් මාස හයකට දීර්ඝ කළා. ඉන්දීය අගමැතිවරයා ඒ ණය පහසුකමේ පොලී ප්‍රතිශතය අඩු කිරීමට හා ගෙවන කාලය දීර්ඝ කිරීමට පොරොන්දු වුණා. මේ රටේ ජනතාව මුහුණදී තිබූ තත්ත්වයන් හමුවේ සිදු කළේ විශාල උදව්වක්.

මන්නාරම රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය වෙනුවෙන් ශ්‍රී ලන්කන් රුපියල් කෝටි හැටක ආධාර මුදලක් ලබා දුන්නා. ඒ අනුව ඉදිකිරීම් කටයුතු සිදු කරනවා. මෙය රටේ ජනතාවට, මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාවට විශාල අවස්ථාවක්.

මහව – ඕමන්ත දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා දුන් සහාය වෙනුවෙන් මහව – අනුරාධපුරය දුම්රිය මාර්ගයේ ස්ථාපනය කෙරෙන සංඥා පද්ධතිය සඳහා දුන් අමෙරිකානු ඩොලර් මිලියන 14.9ක ණය පහසුකම, ප්‍රදානයක් බවට පරිවර්තනය කිරීම සිදු කළා. අනුරාධපුර පූජා නගරය ඉදිරියට ගෙන යෑම වෙනුවෙන් ආධාර දීමට, ත්‍රිකුණාමලයේ කෝණේෂ්වරම් දූපතට, නුවරඑළිය සීතාඑළිය වැනි පූජනීය ස්ථාන නඟාසිටුවීමට මූල්‍යාධාර දුන්නා. සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීමට ද මූල්‍යාධාර දීමට එකඟතාව පළ කළා.

අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසික බව රැක ගනිමින් සංවර්ධනය කිරීමට ඉන්දීය ආධාර දීමට ඉන්දීය අගමැතිවරයා එකඟ වුණා.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට නුවරඑළිය සීතාඑළිය හින්දු ආගමික දේවස්ථානය දියුණු කිරීමට එකඟ වුණා. දඹුල්ල ප්‍රදේශයේ ආරම්භ කර ඇති එළවළු කල් තබා ගැනීම වෙනුවෙන් ඉදිකළ ශීතාගාරයත් විවෘත කළා. සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය වෙනුවෙන් මුල්ගල් තැබුවා. අපේ විදුලි පද්ධතියට මෙගාවොට් 120ක් අලුතින් එකතු වෙනවා. බෞද්ධ වෙහෙර විහාර වෙනුවෙන් සූර්ය පැනල දීමත් සිදු කෙරෙනවා. ඒකක 200ට අඩුවෙන් විදුලිය භාවිත කරන වෙහෙර විහාරස්ථාන කෙරෙහිත් මෙහිදී අවධානය යොමු කළා.

අපගේ රාජ්‍ය සේවකයන්ට ඉන්දියාවේදී පුහුණුවක් දීමටත් මෙහිදී තීරණය වුණා. රාජ්‍ය සේවකයන්ට අමතරව තවත් අයට එම පුහුණුව දෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් දෙනවා. නැඟෙනහිර පළාතේ ව්‍යාපෘති 33ක් වෙනුවෙන් රුපියල් කෝටි 240කට අධික මුදලක් දීමට තීරණය කර තිබෙනවා. තවත් කෝටි පන්දහස් හාරසිය හතළිහකට අධික මුදලක් දීම වෙනුවෙන් වෙන් කර තිබෙනවා.

පසු අස්වනු හානිය 40%කින් පමණ අවම කර ගැනීම, කෘෂි නිෂ්පාදන මිලෙහි උච්චාවචනය පාලනය කිරීම, පාරිභෝගිකයන්ට ගුණාත්මක ආහාර සැපයීම සහ කෘෂිකාර්මික තිරසරභාවය වැඩිදියුණු කිරීම ආදි අරමුණු සහිතව උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව පාලනය කළ හැකි මෙට්‍රික් ටොන් 5,000ක ධාරිතාවක් සහිතව ඉදිකළ දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණය (ශීතාගාරය) ආරම්භ කළා. සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතිය ආරම්භ කළා. මෙය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක්.

ශ්‍රී ලංකාවේ ආගමික ස්ථානවල සූර්ය පැනල 5000ක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කළා. ඉන්දීය මහබෝධි සමාගමට ලැබෙන විදේශ මුදල් භාවිත කිරීම සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් තිබුණා. මෙම ගැටලුව නිරාකරණය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කළා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමාජ ආරක්ෂණ ගිවිසුම අවසන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කළා.

දමිළ ජනතාව වෙනුවෙන් නිවාස 10,000ක් ඉදිකිරීමට සහ ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන යොවුන් නායකයන් 700කට යහපාලන පුහුණු වැඩසටහන් දීමට එකඟතාව පළ කළා.

වතු නිවාස 10,000ක ව්‍යාපෘතිය වෙනුවෙන් විශේෂ මැදිහත්වීමක් සිදු කරන්නත් ඉන්දීය අගමැතිවරයා එකඟතාව පළ කළා.

ඒ වගේම අමෙරිකාව දැන් පනවා තිබෙන බද්දත් එක්ක අපනයනවලට යම් බලපෑමක් සිදු වෙනවා. ඒ ගැනත් අපි ඉන්දීය නියෝජිතයන් සමඟ සාකච්ඡා කළා. නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා මිලියන අටක මුදලක් ලැබී තිබෙනවා. මේ ප්‍රමාණය මිලියන පනහ දක්වා වැඩි කරන්න කියලා අපි ඉන්දියාවෙන් ඉල්ලීම් කළා. මීට අවුරුදු 25කට විතර උඩදී අත්සන් කළ ගිවිසුමක් මෙය. නමුත් දැන් වෙළෙඳපොළ පුළුල් වී තිබෙනවා. ඒ නිසා මේ කෝටාව වැඩි කරන්න කියා අපි ඉල්ලුවා. නරේන්ද්‍ර මෝදි මහතාගේ පැමිණීමත් එක්ක ජනතාවට සහන රැසක් දෙන්න අපට පුළුවන් වුණා. ඒ වාසිය ජනතාවට ලැබෙනවා. මෙවැනි වාසි රැසක් මෙරට ජනතාවට දීමට හැකි වුණා.

මීට අමතරව මෙහිදී අපි රජයන් දෙකක් ලෙස අවබෝධතා ගිවිසුම් 7කට අත්සන් තැබුවා. ඒ වගේම මේ ගිවිසුම් හතම අත්සන් කළේ අදාළ අමාත්‍යාංශ නිලධාරීන් ද සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසුවයි. වසර ගණනාවක් පුරා ඒ සාකච්ඡා දිවගියා. එම ගිවිසුම් 7ම මෙරට නීතිපතිවරයා වෙත යොමු කිරීමෙන් පසුව නීතිපතිවරයා විසින් අනුමත කළා. එබැවින් මෙම ගිවිසුම් කිසිවක් නීති විරෝධී ගිවිසුම් නොවෙයි. මෙරට නීතිපතිවරයා විසින් අනුමත කළ ගිවිසුම්. ඒ වගේම මේ අවබෝධතා ගිවිසුම් කියන්නේ දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධය සහිතව ඇති කරගත් ගිවිසුම්. ඒ නිසා ඕනෑම රටකට මාස 03කට පෙර දැනුම්දී මෙම ගිවිසුම්වලින් ඉවත්වීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම මේ ගිවිසුම් අමාත්‍ය මණ්ඩලවලටත් දාලා අනුමත කර තිබෙනවා. අමාත්‍යාංශ මඟිනුත් අනුමත කර තිබෙනවා. කැබිනට් එකට පෙන්වන්නෙ නැතිව මේ කිසිදු ගිවිසුමක් අත්සන් කර නැහැ. මේ අවබෝධතා ගිවිසුම් නිසා ආර්ථිකයට වාසි රැසක් හිමි වෙනවා.

බලශක්තිය පිළිබඳ ප්‍රධාන අවබෝධතා ගිවිසුම් 02කට අත්සන් තැබුවා. ඒ තමයි විදුලිබලය ආනයනය, අපනයනය කිරීම සඳහා අධිවෝල්ටීය සරල ධාරා (HVDC) අන්තර් සම්බන්ධතාවක් ක්‍රියාත්මක කිරීම සඳහා වන ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වූ අවබෝධතා ගිවිසුම. මෙමඟින් ලංකාවේ නිෂ්පාදනය කරන අතිරික්ත විදුලිය වෙනත් රටවලට අපනයනය කිරීමට හැකියි.

ඉන්දියාවෙන් අනිවාර්යයෙන් විදුලිය ගැනීමේ නීතියක් හෝ බලශක්ති ස්වෛරීත්වයට කිසිසේත් පාවා දීමක් මෙම ගිවිසුමෙන් සිදුවන්නේ නැහැ.

ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුත්තේ සහයෝගිතාව සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර වූ ත්‍රෛපාර්ශ්වීය අවබෝධතා ගිවිසුම අත්සන් තැබුවා. මෙය ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක්. මෙම ගිවිසුමේ කිසිම තැනක මෙරටට තෙල් ගෙන්වන ක්‍රමය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැහැ. ත්‍රිකුණාමලය තෙල් ටැංකි නවීකරණය කිරීමටත් මෙමඟින් බලාපොරොත්තු වෙනවා.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ අපගේ බලශක්ති ස්වෛරීත්වයට කිසිදු හානියක් සිදුවීමට ඉඩ දෙන්නේ නැහැ.

ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය අතර වූ සෞඛ්‍ය හා ඖෂධ ක්ෂේත්‍රයේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවා. නව රෝග සහ ඖෂධ ආදිය සම්බන්ධයෙන් දැනුම බෙදා ගැනීමේ ගිවිසුමක්. ඖෂධ සංග්‍රහ සහයෝගිතාව උදෙසා ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශයේ ඖෂධ සංග්‍රහ කොමිසම සහ ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අතර වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවා. මෙමඟින් ගුණාත්මක බෙහෙත් අඩු මිලට ගන්න පුළුවන්.

ඩිජිටල් පරිවර්තනය උදෙසා ජනතා මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන සාර්ථක ඩිජිටල් විසඳුම් හුවමාරු කර ගැනීමේ ක්ෂේත්‍රයේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සිදුවුණා. අද ඉන්දියාවේ බොහෝ කටයුතු සිදුවන්නේ ඩිජිටල්කරණය හරහායි. එම දැනුම මෙරටට ලබාගත හැකියි. නැඟෙනහිර පළාතේ සංවර්ධනය පිළිබඳ කෝටි 240කට ආසන්න මුදලක් අපිට ලබා දෙන ඒ අවබෝධතා ගිවිසුම ලංකාවේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාත් ඉන්දියාවේ මහකොමසාරිස්වරයාත් අත්සන් කරනු ලැබුවා.

ඒ වගේම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සහ ඉන්දීය ජනරජය අතර ආරක්ෂක සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක්. එහෙම නැතිව මේක ආරක්ෂක ගිවිසුමක් නෙවෙයි. මේක ආරක්ෂක සහයෝගිතාව. මෙමඟින් දෙපාර්ශ්වයටම අදාළ අන්තර්ජාතික යහපරිච්ඡයන්, දේශීය නීති හා ජාතික ප්‍රතිපත්ති සමඟ නොගැටෙන අතර, අන්තර්ජාතික බැඳීම්වලට කිසිදු අගතිදායක බලපෑමක් ඇති නොකරයි. එමෙන්ම මෙම අවබෝධතා ගිවිසුම යටතේ සහයෝගිතා ක්‍රියාකාරකම් කරන විට පාර්ශ්වයන්ගේ දේශීය හා හමුදාමය නීතිය සහ රෙගුලාසිවලට සැලකීම, රාජ්‍යයන්ගේ ස්වාධිපත්‍යය සහ සමානාත්මතාව හා භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කළ නොහැකි බව පිළිගැනීම සහ පාර්ශ්වයන්ගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම ඇතුළු එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති අදාළ මූලධර්ම හා අරමුණුවලට ගරු කිරීමට දෙපාර්ශ්වයම කැපවී සිටියි. අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම හරහා දෙරට අතර හමුදා නිලධාරීන් හුවමාරුව, පුහුණු කිරීම, හමුදා අතර කාර්ය මණ්ඩල සාකච්ඡා, තොරතුරු හුවමාරුව ආදි කටයුතු සිදු වෙනවා. ඒ කියන්නේ මේකෙන් වෙන්නේ ඇත්තටම දැනටමත් සිදුවන දේ. එහෙම නැතිව ඉන්දියාව සමඟ ආරක්ෂක වශයෙන් බැඳෙන ගිවිසුමකට අපි ඇවිත් නෑ.

අපේ භූමිය ඉන්දීය ආරක්ෂාවට තර්ජනයක් වෙන විදිහට පාවිච්චි කරන්න අපි දෙන්නේ නෑ. ඒක අපි චීනයටත් පැහැදිලිව කිවුවා. චීනයේ බෙදුම්වාදී කටයුතු සිදු වෙනවා නම් මේ ලංකාවේ භූමිය එවැනි කටයුතු සඳහා යොදාගන්න අපි ඉඩ දෙන්නේ නෑ. ඉන්දියාවට විතරක් නෙවෙයි චීනයටත් අපි ඒ සහතිකය දීලා තියෙනවා. ශ්‍රී ලංකාවේ භූමිය ආරක්ෂාවට හෝ බෙදුම්වාදයට බලපාන අයුරින් භාවිත කරන්න කිසිදු රටකට ඉඩ දෙන්නේ නෑ.

වගකීමෙන් යුතුව ජනතාවට කියනවා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික සංචාරයෙන් රටේ ජනතාවට විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් අපි ලබාදීලා තියෙනවා. මේ අවබෝධතා ගිවිසුම් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඕනෑම කෙනකුට ගන්න පුළුවන්. මේවා රහසිගත ගිවිසුම් නෙවෙයි, මේ රටේ ජනතාවට අපි සහතිකයක් දෙනවා කිසිදු ආකාරයකට කිසිදු රටකට අපිව සල්ලිවලට ගන්නත් බෑ, යටත් කරන්නත් බෑ. අපි ස්වෛරීත්වය ආරක්ෂා කරගෙන තමයි මේ අවබෝධතා ගිවිසුම්වලට එළැඹුණේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT