Home » වැහැර ෂෙඩ්එකේ ගින්න ඇති වුණේ ගෑස් ටැංකියක් පිපිරීමෙන්
මරණ 4යි-හතරක් රෝහලේ

වැහැර ෂෙඩ්එකේ ගින්න ඇති වුණේ ගෑස් ටැංකියක් පිපිරීමෙන්

සිරුරු හඳුනාගන්න DNA පරීක්ෂණ

by mahesh
April 9, 2025 7:06 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ, කුරුණෑගල අතිරේක - පුෂ්පකුමාර ජයරත්න සහ මාවතගම විශේෂ - ආනන්ද විජේතිලක

පුද්ගලයන් සිව්දෙනකුට මරණය ගෙන දෙමින් කුරුණෑගල වැහැර ප්‍රදේශයේ පිහිටි ඉන්ධනහලක් ආශ්‍රිතව ඇති වූ ගින්නට හේතුව කාර්මික කටයුතු සඳහා යොදා ගන්නා ලීටර 70ක් පමණ වන ගෑස් ටැංකියකට එල්.පී. ගෑස් පුරවමින් තිබියදී එම ගෑස් ටැංකිය පුපුරා යෑමක් බව ඒ සම්බන්ධයෙන් මෙතෙක් කර ඇති විමර්ශනවලින් අනාවරණය වී තිබේ. එම පිපුරුමත් සමඟ ලීටර 6000ක පමණ වූ එල්.පී. ගෑස් ගබඩා කර තිබුණු ටැංකියක සිට සිලින්ඩර පිරවීමට ගෑස් ප්‍රවාහනය කරන නළයක් ද පුපුරා ගොස් ඇති බව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කුරුණෑගල පොලීසිය සඳහන් කරයි.

දැඩි පරිශ්‍රමයක් දරා ගින්න මැඬපැවැත්වීමට කුරුණෑගල මහනගර සභාවේ ගිනි නිවීමේ සේවයේ නිලධාරීන් විසින් පියවර නොගන්නට ලීටර 6000ක් අඩංගු ටැංකියට ගින්න පැතිරී ගියේ නම් විශාල හානියක් සිදුවීමට ඉඩ තිබුණු බව පොලීසිය සඳහන් කරයි. මෙම ස්ථානයෙන් එල්.පී. ගෑස් පුරවනු ලබන්නේ කාර්මික කටයුතු සඳහා යොදා ගන්නා ටැංකිවලට පමණක් බවත් ගෘහස්ථව පරිහරණය කරන සිලින්ඩරවලට මෙම ස්ථානයෙන් ගෑස් පිරවීමක් සිදු නොකරන බවත් කුරුණෑගල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්නක කොබ්බෑවල මහතා සඳහන් කළේය.

මෙම පිපිරුමෙන් සහ ගින්නෙන් මියගොස් සිටින සිව්දෙනාගේ සිරුරු හඳුනා ගැනීමට නොහැකි තරමට හානි වී ඇති බැවින් ඩී.එන්.ඒ. පරීක්ෂණයක් මඟින් තහවුරු කර ගැනීමට සිදුවන බව ද පොලිස් ස්ථානාධිපතිවරයා කීය. ඊට අදාළ ජෛව සාම්පල අධිකරණ වෛද්‍යවරයා විසින් ලබාගෙන ඇති බව සඳහන්ය. කුරුණෑගල පිහිටි කර්මාන්ත ආයතනයකට අයත් ලොරි රථයකින් රැගෙන පැමිණි ටැංකි 10කට ගෑස් පුරවමින් තිබියදී මෙම පිපිරුම සිදුව ඇත. ගෑස් පිරවීම සිදු කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් නිසි දැනුමක් නැති අයකු බවට විවිධ කථාබහ සමාජයේ ඇති වී තිබෙන බැවින් ඒ ගැන කුරුණෑගල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කරනු ලැබුවේ එවැන්නක් මෙතෙක් කර ඇති විමර්ශන ඔස්සේ අනාවරණය වී නැති බවයි.

රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගිනි සම්බන්ධයෙන් සිටින විශේෂඥයන් ද මෙහි පැමිණ විමර්ශනයක් සිදු කර තිබේ. ගින්නට හේතුව මූලික වශයෙන් ඔවුන් සිය නිරීක්ෂණ ඔස්සේ නිගමනය කර තිබිණි. ගින්න හටගත් ස්ථානයෙන් නියැදි කිහිපයක් ද ලබාගෙන ඇති අතර එම නියැදි රසායනාගාර පරීක්ෂාවකට ද යොමු කර වාර්තාව ලබා දීමට නියමිත බව සඳහන්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT