ගෙයින් එළියට ඇවිත් බලද්දී ෂෙඩ්එකෙන් මහ එළියක් දැක්කා
– සිද්ධිය ඇසින් දුටු කාන්තාවක්
මියගිය සිවුදෙනාගේ සිරුරුවලට දැඩි හානි
මියගිය අය හඳුනා ගැනීමට ඩී.එන්.ඒ.පරීක්ෂණ
බෝම්බ පුපුරනවා වගේ මහ ශබ්දයකින් මම තිගැස්සී ගියා
– අනතුර ඇසින් දුටුවෙක්
කුරුණෑගල වැහැර ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හල් පරිශ්රයක පිහිටි එල්.පී.ගෑස් පිරවුම් පොළක පෙරේදා (07) රාත්‍රියේ ඇති වූ ගිනි ගැනීමකින් සිදුවූ පුපුරායෑමෙන් පුද්ගලයන් සිවුදෙනෙකු ඒ ස්ථානයේදීම මරණයට පත්ව තවත් සිවුදෙනකු තුවාල ලැබූහ.
මෙසේ මියගොස් ඇත්තේ ලොරි රථයේ රියැදුරකු වූ අඛිල ධනංජය (33), ලොරි රථ සහායකයකු වූ දුෂාන් රවිදු ඒකනායක (25), ඉන්ධන පිරිවුම්හලේ කළමනාකාර අමිල හර්ෂණ (40) සහ පිරවුම්හල් සේවක හිමල් තුෂාර වික්‍රමරත්න (30) නමැත්තන්ය.ලොරියකින් රැගෙන ආ හිස් ගෑස් සිලින්ඩර තොගයකට ගෑස් පිරවීමට ගිය අවස්ථාවේදී පෙරේදා (07) රාත්‍රී 11.15ට පමණ මේ ගින්න හටගෙන ඇති බව කුරුණෑගල පොලීසිය සඳහන් කළේය.
කුරුණෑගල – කොළඹ ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටා ඇති මේ පිරවුම්හලේ ඉදිරි කොටස ලංකා ඉන්දීය තෙල් සමාගමට අයත් පිරවුම්හලක් ලෙසත් පසුපස කොටස ලාෆ්ස් ගෑස් පිරවුම්හලක් ලෙසත් පවත්වාගෙන යයි. සිලින්ඩරවලට ගෑස් පුරවමින් තිබියදී ද්‍රව ගෑස් ලීටර් 6000ක් අඩංගු විශාල ප්‍රමාණයේ ටැංකියේ සිට ගෑස් පොම්ප කරමින් තිබූ නළයක එක්වරම ඇතිවූ ගිනි දැල්ලක් ක්ෂණයකින් පැතිර ගොස් විශාල ගින්නක් බවට පරිවර්තනය වී ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය. එහිදී පිපුරුමක් ද ඇති වී තිබේ. කුරුණෑගල – පුත්තලම මාර්ගයේ පවත්වාගෙන යන කර්මාන්ත ශාලාවකට අයත් ලීටර් 70 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර් 10කට ගෑස් පුරවමින් තිබියදී ගින්න හටගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඒ අවස්ථාවේදී සිලින්ඩර ලොරියේම තබාගෙන ගෑස් පිරවීම කර ඇති බව ද වාර්තා වේ.
එසේ හටගත් ගින්න නිවාදැමීමට උත්සාහ ගත් සේවකයන් පිපිරීමෙන් ඇති වූ ගින්නට ගොදුරුව මරණයට පත්වන්න ඇති බව සැක කෙරේ.
කුරුණෑගල මහ නගර සභාවට අයත් ගිනි නිවීම් රථ සියල්ලම යොදාගනිමින් සියලු ක්‍රමවේද භාවිතා කරමින් ගින්න මැඬලීමට උපරිම උත්සාහ දරා ඇතත් එය අසීරු කරුණක් වී ඇත්තේ ගින්න ඒ වන විටද ඉතා දැඩිව පැතිර ගොස් තිබූ නිසාය. මේ සඳහා වතුර බවුසර් 15ක් පමණ යොදා ගැනීමට ගිනි නිවීම් ඒකකයට සිදුව තිබුණි.
පසුව ඒ ස්ථානයට පැමිණි ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරියකුගෙන් ලත් උපදෙස් අනුව ගිනි නිවීම් නිලධාරීන් දැඩි වෙහෙසක් දරා ගෑස් ටැංකියට ද්‍රව ගෑස් සැපයෙන නළය වසා දැමීමෙන් අනතුරුව ගින්න පාලනය කිරීමට හැකි වී තිබේ. ගින්න පාලනය කිරීමට සහාය වීමට වැහැර යුද හමුදා කඳවුරේ හමුදා සාමාජිකයන්ද කැඳවනු ලැබූහ. ගින්න පාලනය කිරීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හලට ගින්න පැතිරයෑම මෙන්ම ලීටර් 6000ක් වූ ප්‍රධාන ගෑස් ටැංකිය පුපුරායාම වළක්වා ගැනීමට හැකිවී තිබේ.
ගින්න පාලනය කිරීමට පැය තුනකට ආසන්න කාලයක් ගතවී තිබූ අතර ගින්නේ අවදානම හේතුවෙන් කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරු කොටසක් පැය කීපයක කාලයක් තාවකාලිකව වසා දැමීමට ද පොලීසියට සිදු විය.
මරණයට පත්වූ සිවුදෙනාගේම සිරුරුවලට දැඩි හානි සිදුව පිලිස්සීමට ලක්ව හඳුනාගත නොහැකි තත්ත්වයක පවතින බව ද පොලීසිය පැවසීය. මේ නිසා මරණයට පත්වූවන් හඳුනා ගැනීමට ඩී.එන්.ඒ. පරීක්ෂණයකට යෑමට සිදුවන බව කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්ම චන්නක කොබ්බෑවල මහතා ප්‍රකාශ කළේය.
මේ ස්ථානයේ කටයුතු කිරීමේදී නිසි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කළා ද යන්න පිළිබඳවත් සොයා බලමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
මරණයට පත් සියලු දෙනා කුරුණෑගල හා ඒ අවට පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත. මියගොස් සිටින එක් අයකු ලොරියේ රියැදුරා බවට හඳුනාගෙන තිබේ. අනෙක් තිදෙනා පිරවුම්හලේ සේවකයන් බව පැවසේ. තුවාල ලද පුද්ගලයන් සිවුදෙනා ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් තොරතුරු සඳහන් කරයි.
පිපිරුමෙන් ගෑස් සිලින්ඩර රැගෙන පැමිණි ලොරියට ද හානි සිදුව තිබෙන අතර ගෑස් සිලින්ඩර ද එම ස්ථානය පුරා විසිරී පැවතුණි. ගින්නත් සමඟ ඇතිවූ පිපුරුම් ශබ්දය බොහෝ ප්රදේශවලටද ඇසී තිබුණි.
මේ අනතුර සම්බන්ධයෙන් අදහස් දැක්වූ පිරවුම්හල ආසන්නයේ නිෙවසක පදිංචි කාන්තාවක් මෙසේ ප්‍රකාශ කළාය.
“අපේ ගෙදර තියෙන්නේ මේ පිරවුම්හල ආසන්නයේමයි. ඊයේ රාත්‍රී එකොළහ පහුවුණාට පසුව එක පාරටම පාර දිහාවෙන් මහා හඬින් බෝම්බයක් පුපුරනවා වගේ ශබ්දයක් ඇහුණා. ඒත් එක්කම අපේ ගෙදරත් දෙදරුම් කනවා වගේ දැනුණා. අපට හිතුනේ භූමිකම්පාවක්වත් ඇවිත්වත්ද කියලයි. ඒත් එක්කම මහා වේගයකින් මොකක්දෝ අපේ ගෙදර මිදුලට වැටුණු සද්දයකුත් ඇහුණා. අපි බයටම ගෙයින් එළියට එන්නේ නැතිව ටිකක් වෙලා හිටියා. ඒත් එක්කම පාර දිහාවෙන් මහා හයියෙන් පිරිසක් කෑගහන සද්දයකුත් ඇහුණා. කෝකටත් කියලා අපි ගෙයින් එළියට ඇවිත් බලන විට දැක්කා මහ පාරේ විශාල එළියක් දැල්වෙනවා. ඒ ගින්න දැක්කේ පෙට්‍රල් ෂෙඩ් එකෙන්. ඊට පස්සේ තමයි දැනගත්තේ ෂෙඩ් එකේ ගෑස් එක පුපුරලා ගිනි අරගෙන තියෙනවා කියලා. මේ පිපිරීම නිසා අපේ ගෙදර මිදුලට උඩින් ආව විශාල ගෑස් සිලින්ඩරයකුත් වැටිලා තිබුණා කියලා දැක්කේ පහුවදා උදේ. ඒක වැටුණු සද්දය තමයි රෑ ඇහිලා තිබුණේ. ෂෙඩ් එකේ පිපිරීම නිසා අපේ ගෙදර ජනෙල් කීපයකම වීදුරුත් සම්පූර්ණයෙන්ම කැඩිලා. බිත්තිත් ඉරි තලලා පුපුරලා ගිහින්. ඒත් අපට දුක නිතරම අපිත් එක්ක හිනාවෙලා කතා කරපු ෂෙඩ් එකේ වැඩ කරපු දරුවෝ දෙන්නෙක් මේ අනතුරෙන් මරණයට පත්වීම ගැනයි ”.
වැහැර නිෙවසක පදිංචි තවත් අයකු අනතුර දුටු ආකාරය මෙසේ පැවසීය.
“එක පාරටම රාත්රියේදී ආසන්නයේ මහා හඬක් නඟමින් පැතිරිලා ගිය බෝම්බ පුපුරනවා හා සමාන විශාල ශබ්දයක් නිසා මම තිගැස්සිලා ගියා. වෙනදාට ඇහෙනවා රෑට පාරේ යන ලොකු වාහනවල ටයර් පුපුරලා එන සද්ද. ඒත් මේක ඊට වඩා වෙනස් විශාල පිපුරුම් සද්දයක් නිසා අපි බයට පත් වුණා. නිෙවසින් එළියට ඇවිත් සොයා බැලීමේදී ඒ ආසන්නයේ පිහිටි ලාෆ්ස් ඉන්ධන පිරවුම්හලේ විශාල ගින්නක් ඇතිව තිබෙන බව දැක්කා. ඒ ස්ථානයේ මහා හයියෙන් ගෑස් සිලින්ඩර පුපුරා යන ආකාරයත් දැක්කා. පසුව මම ඒ ස්ථානයට ගිහින් බලන විට දැක්කා ඇති වෙලා තිබුණු ගින්නට හසුවී හඳුනාගත නොහැකි ආකාරයට පිලිස්සී ගිය මළ සිරුරු කීපයක කොටස් ඉන්ධන පිරවුම්හල අසල විසිරී තිබෙන අයුරු. පසුව තමයි දැන ගත්තේ අපි හොඳින් හඳුනන ෂෙඩ් එකේ මැනේජරුයි එතැන වැඩ කරන කෙනෙකුත් ඒ ගින්නට හසුවෙලා මිය ගිහින් කියලා. හරිම කනගාටුදායකයි මේ සිද්ධිය. කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ අය තමන්ගේ ජීවිත ගැනවත් නොසලකා මේ ගින්න නිවන්න උත්සාහ ගත් ආකාරය අපි දුටුවා.
ඔවුන් එහෙම නොකළා නම් ගෑස් තිබෙන විශාල සිලින්ඩරය ගින්නට රත්වෙලා පුපුරලා ගියා නම් මීට වඩා බිහිසුණු අනතුරක් වෙන්න තිබුණා. ඒ නිසා මේ ගිනි නිවන අයගේ ඒ කාර්යභාරයත් අගය කළ යුතුමයි. ”
ඉන්ධන පිරවුම්හල අසල පදිංචි කේ.බී. ජයවීර මහතා මෙසේ කීය.
‘‘රාත්‍රී 11.15ට පමණ විශාල පිපිරීම් ශබ්දයක් ඇසුණා. ඒ සමඟම මගේ නිෙවසේ ජනෙල් වහල ෂීට් ඉබි යතුරු කැඩී කිලෝ 48ක ගෑස් සිලින්ඩරයක් මිදුලට වැටුණා. මගේ මෝටර් රථයත් නිෙවසින් ඉවත් කර පවුලේ සියලු දෙනාම නිෙවසින් ඉවත් වුණා. ගින්න විශාල ලෙස පැතිරෙයි යන බිය ඇති වුණා. උදෑසන නිෙවසේ මිදුලේ මියගිය පුද්ගලයන්ගේ ශරීර කොටස් කිහිපයක් වැටී තිබුණා. මේ ඉතාම අවාසනාවන්ත සිදුවිමක්. මෙවැනි ව්‍යාපාර ජනාකිර්ණ ප්‍රදේශවලට සුදුසු නැති බව ප්‍රදේශවාසීන් ආරම්භයේදීම ප්‍රකාශ කර විරෝධය දැක්වූවා.”
ඉන්ධන පිරවුම්හලේ ගින්න හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් පිළිබඳව අප කළ විමසුමකදී රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මිය කියා සිටියේ මේ වන විට හතරදෙනකු මේ ගින්නෙන් තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
කුරුණෑගල මහ නගර සභාවේ නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතාගෙන් අප කළ විමසුමකදී ඒ මහතා කියා සිටියේ ගිනි නිවන රථ, ස්කයි ලිෆ්ට් සහ ජල බවුසර් සියල්ල සේවයේ යොදවමින් ගිනි නිවන භටයන්ගේ මහත් කැපවීමෙන් මේ ගින්න පාලනය කර ගැනීමට කටයුතු කළ බවයි. මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය ඊයේ (08) පෙරවරුවේ අනතුර සිදු වූ ස්ථානයේදී සිදු විය. කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන හේරත් මහතාගේ උපදෙස් අනුව අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කුරුණෑගල මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය සිදු කරයි.