Home » ෆාමසියකින් ගත් විස ඖෂධයක් පානය කළ තෙමස් ගැබිනිය මරුට

ෆාමසියකින් ගත් විස ඖෂධයක් පානය කළ තෙමස් ගැබිනිය මරුට

by mahesh
April 9, 2025 4:00 pm 0 comment

කොට්ටාව සමූහ - ප්‍රදීප් කුමාර

පිළිගත් වෛද්‍යවරයකුගේ නිර්දේශයක් නැතිව අවිස්සාවේල්ල ප්‍රදේශයේ ෆාමසියකින් ලබාගත් විෂ සහිත ඖෂධයක් පානය කිරීමෙන් තෙමස් ගැබිනි මවක් හෝමාගම මූලික රෝහලේදී මිය ගොස් ඇතැයි රුවන්වැල්ල පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි (42) හැවිරිදි සිවුදරු මවකි.

මේ කාන්තාව පසුගිය 5දා සිය සැමියා සමඟ අවිස්සාවේල්ල ප්‍රදේශයේ ෆාමසියකට ගොස් දරු ගැබ ඉවත් කිරීමට ඖෂධයක් ඉල්ලා සිට ඇති අතර පසුව ශරීරගත කිරීමට ඖෂධ කරලක් හා පානය කිරීමට පෙති තුනක් ලබාදී ඇති බව පොලීසිය කියයි.

එම පෙති පානය කිරීමත් සමඟ මේ කාන්තාව අසාත්මික තත්ත්වයකට පත් වී ඇති අතර පසුව පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ගොස් ප්‍රතිකාර ඉල්ලා සිටි අවස්ථාවේදී ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කර වහා රජයේ රෝහලකට යන ලෙස උපදෙස් ලැබී තිබේ.

ඒ අනුව ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඉකුත් ඉරිදා හෝමාගම මූලික රෝහලට මාරු කර එවා ඇත. එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇති බව පොලීසිය කියයි.

මේ කාන්තාව පානය කර තිබූ විෂ සහිත ඖෂධය විශේෂඥ වෛද්‍යවරයකුගේ නිගමනයකින් තොරව පානය කිරීමට අවසරයක් නැති බවත් එවැනි ඖෂධයක් ලබාගැනීම සහ නිකුත් කිරීම දෙපාර්ශ්වයම කළ වරදක් බවත් විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

මියගිය කාන්තාවගේ මෘතදේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක චින්තක උදය කුමාර මහතා කළ අතර මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී පනීත සෙනෙවිරත්න මහතා විසින් සිදුකරන ලදී. මියගිය කාන්තාවගේ සහ තෙමස් බිලිඳු කලලයේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරමින් විවෘත තීන්දුවක් ලබාදී තිබේ. රුවන්වැල්ල පොලීසියේ පොලිස් සැරයන් (48605) ගම්ලත් මහතා සාක්ෂි මෙහෙයවීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT