Home » අත්සන් කළ ගිවිසුම්වලින් ආරක්ෂක අංශ පාවාදීමක් කිසිසේත්ම සිදු කර නෑ
ඉන්දීය අගමැති සමඟ

අත්සන් කළ ගිවිසුම්වලින් ආරක්ෂක අංශ පාවාදීමක් කිසිසේත්ම සිදු කර නෑ

by mahesh
April 9, 2025 9:10 am 0 comment

නුවන් කොඩිකාර

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණි පසු අත්සන් කළ ආරක්ෂක සහයෝගිතා ගිවිසුම ඇතුළේ මෙරට ආරක්ෂක අංශ පවා දීමක් හෝ රටේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීම වැනි කිසිවක් සිදු නොවන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

දෙරටේ ආරක්ෂාවට බලපාන කරුණුවලදී එක් එක් රටවල ගුවන, භූමිය, ජල තීරය අනෙක් රටට එරෙහිව භාවිත කරන්න ඉඩ නොදෙන බවද හෙතෙම කීවේය.

ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාවටත්, ශ්‍රී ලංකාවටත් රාජ්‍ය දෙකටම වගකීමක් තිබෙන බවත් ඒ අනුව දෙරට අතර ආරක්ෂක සහයෝගීතාවය සඳහා ආරක්ෂක හමුදාවන්වල විශේෂඥභාවය, පුහුණුව වගේම සමහර තොරතුරු හුවමාරු කර ගැනීම ආදී කටයුතු සම්බන්ධයෙන් තිබෙන බවත් කියා සිටියේය.

විමල් වීරවංශගේ වාග් කෝෂය දිහා පිටුපසට ගිහින් බැලුවම කිසි වෙනසක් නැහැ. හැමදාම ඔය ටික තමයි කියන්නේ යැයිද ඒ මහතා පැවැසීය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

අපි අවබෝධතා ගිවිසුම් 07ක් අත්සන් කරා. සෞඛ්‍ය, බලශක්ති, ඩිජිටල් ආර්ථිකය, නැඟෙනහිර පළාතේ සෞඛ්‍ය, අධ්‍යාපනය, වාරිමාර්ග, ග්‍රාමීය මාර්ග, පාලම් ඇතුළු සංවර්ධන කටයුතු වගේම ආරක්ෂක කටයුතු. මම දැක්කා ගොඩාක් අය කියනවා රට පාවා දීල තිබෙන්නේ.1815 කන්ද උඩරට ගිවිසුමටත් වඩා බරපතළ පාවා දීමක් වෙලා තිබෙනවා. ඒ වගේ කිව්වේ නැත්නම් තමයි පුදුම. සමහර ගිවිසුම් යම් කාලයක් තිස්සේ සාකච්ඡා කරමින් පවතින ඒවා. සමහර ගිවිසුම් අපේ ආණ්ඩුවටත් කලින් ආරම්භ කළ දේවල්. නමුත් අපි ආවට පස්සේ ඒකට මැදිහත්වීමක් කරලා සංශෝධනයන් කරලා තිබෙනවා. අපි ආවට පස්සේ සාකච්ඡා කරලා ආරම්භ කරපු අවබෝධතා ගිවිසුම් තිබෙනවා. ඒ සියල්ලම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩලය සාකච්ඡා කරලා තිබෙනවා. කවුරුහරි කියනවනම් කැබිනට් මණ්ඩලය දන්නේ නැහැ කියලා ඒක බොරුවක්. අප කැබිනට් මණ්ඩලය ඇතුළේ සාකච්ඡා කරලා එය නීතිපති දෙපාර්තමේන්තුවට යවල තිබෙනවා. සමහර ඒවා අපි සංශෝධනය කළා. මේ ගිවිසුම් අපේ රටේ ආරක්ෂක ප්‍රධානීන්, ආරක්ෂක අමාත්‍යාංශය තුළ සාකච්ඡා කරලා ඒ අයගෙනුත් එකතු වෙච්ච යම් යම් සංශෝධන ඉන්දියානු රජයට ඉදිරිපත් කරලා ආව එකඟතාවයන් අනුව අවසානේදි ගිවිසුමට අස්සන් කළේ. කවුරුත් ඒවට බය වෙන්න දෙයක් නැහැ. අවශ්‍ය නම් ඔබටත් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලන්න පුළුවන්. මෙවායි තිබෙන එකඟතාවයන් යම් ෆැලැට්පෝම් එකක් හදාගන්න. සමහර ගිවිසුම්වල තිබෙන්නේ වැඩ කරන්න අවශ්‍ය ක්‍රමවේද හදාගන්න. කිසිම ගිවිසුමක රටට අහිතකර දේවල් නැහැ. අහිතකරව තිබුණ දේවල් අයින් කරලා වඩාත් ප්‍රතිලාභ අත්කර දෙන අපේ රටේ ජනතාවගේ ස්වෛරීභාවය ආරක්ෂාවන ආකාරයට තමයි මෙය අත්සන් කරලා තිබෙන්නේ. අපි කලින් ආණ්ඩු වගේ කිසිම රාජ්‍යයක් ඉස්සරහා දණ ගහන්නේ නැහැ. අපිට තිබෙන්නේ ජනතා අභිලාෂයන් ඉටු කිරීමයි. වත්මන් ජනාධිපතිවරයා නිරත වූ සංචාර කිහිපයේදීත් රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවලදීත් ඔබ දකින්න ඇති කලින් ආණ්ඩු ජනාධිපතිවරු වගේ නෙවෙයි අපි අපේ මතය කෙලින්ම පැහැදිලිව කියලා තිබෙනවා. එහෙම නැතුව අපි දෙන ඕන දෙයක් පිළිගන්න, බාරගන්න ආණ්ඩුවක් නෙවෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT