2025 අප්‍රේල් 07 දින රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහත්වරුන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (08) පැවති මාධ්‍ය හමුවට එක් වූයේ මෙලෙසිනි.
දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය ස්වාධීන සහ ස්වයං මූල්‍ය ආයතනයක්
දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය ස්වාධීන සහ ස්වයං මූල්‍ය ආයතනයක් ලෙස පිහිටුවා තිබේ. එම මධ්‍යස්ථානය මඟින් ඉටු කළ යුතු කාර්යයන් යාවත්කාලීන කිරීම සඳහා එහි කාර්යයන් ප්‍රවර්ධනය කිරීම සහ කලාපයේ අනෙකුත් ආයතන හා සංවිධාන සමඟ හවුල්කාරිත්වයන් ස්ථාපිත කර ගැනීම යුනෙස්කෝ විධායක මණ්ඩලය විසින් නිර්දේශ කරනු ලැබ ඇත. ඒ අනුව, ගුණාත්මකභාවයෙන් හෙබි මාධ්‍ය සහ තොරතුරු සාක්ෂරතාව පිළිබඳ නව පුහුණු වැඩසටහනක් හඳුන්වා දීම මඟින් කලාපීය සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගැනීම හා 2030 තිරසර සංවර්ධනය පිළිබඳ න්‍යාය පත්‍රයේ දක්වා ඇති ඉලක්ක ඇතුළුව ජාතික සහ කලාපීය ක්‍රියාකාරී සැලසුම් ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින්, දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය, යුනෙස්කෝ දකුණු ආසියානු කලාපීය කාර්යාලය සහ ඉන්දිරා ගාන්ධි ජාතික විවෘත විශ්වවිද්‍යාලය අතර ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් අස්සන් කිරීමට යෝජනා වී තිබේ. යෝජිත කෙටුම්පත් අවබෝධතා ගිවිසුම සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත. එකී ත්‍රෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුමට අස්සන් තැබීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැතිවරයා ලෙස අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මතුපිට උද්ධමනය අපගමනය වීම පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26(1) වගන්තිය යටතේ ගරු මුදල් අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර 2023‑10‑03 දින අත්සන් තබන ලද මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමට අනුව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකය මඟින් මනිනු ලබන කාර්තුමය මතුපිට උද්ධමනය 5%ක මට්ටමක පවත්වාගෙන යාමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැවරී ඇත. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26(5) වගන්තියට අනුව, එම උද්ධමන ඉලක්ක නිශ්චිත ආන්තිකයෙන් අනුක්‍රමික කාර්තු 02ක් තුළ දී සපුරා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපොහොසත් වුවහොත්, මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් ඒ පිළිබඳ වාර්තාවක් මුදල් විෂයභාර ඇමැතිවරයා මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වේ. එසේම, එම වාර්තාව මහජනතාවට ද ලබා ගත හැකි විය යුතුය. 2024 වසරේ තුන්වන හා හතරවන කාර්තුවලදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනයේ කාර්තුමය සාමාන්‍යය පිළිවෙළින් 0.8%ක් සහ -1.5%ක් ලෙස වාර්තා වී ඇති අතර, එය අනුක්‍රමික කාර්තු දෙකක් සඳහා උද්ධමන ඉලක්කයට 2%කට වඩා පහළින් පවතී. එබැවින්, ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26(5) වගන්තිය යටතේ මුදල් විෂය භාර ඇමැතිවරයා වෙත ඉදිරිපත් කර ඇති මතුපිට උද්ධමනය අපගමනය වීම පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් බදු දීමේදී ක්‍රමවත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක්
නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා දීර්ඝකාලීන බදු පදනම මත බැහැර කිරීමේ දී සුදුසු ආයෝජකයන් තෝරා ගැනීම සඳහා විධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කළ යුතු බවට මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලැබ ඇත. ඒ අනුව, රජයේ ඉඩම් ආඥාපනතේ 6(1) වගන්තිය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරනු ලැබ ඇති පහත සඳහන් ඉඩම් කොටස් නාගරික සංවර්ධන අධිකාරියෙහි සැලසුම් රෙගුලාසිවලට අනුගතව, රජයේ තක්සේරුකරුගේ තක්සේරුව මත පදනම්ව දීර්ඝකාලීන බදු පදනම මත බැහැර කිරීම සඳහා සුදුසු ආයෝජකයන් තෝරා ගැනීම පිණිස ප්‍රසම්පාදන ක්‍රියාවලි අනුගමනය කිරීම සඳහා නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස ඇමැති එන්.ජී. අනුර කරුණාතිලක මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
සෙල්ලකතරගම නගර සංවර්ධන කටයුතු සඳහා අත්පත් කර ගනු ලැබූ ඉඩම් අතුරින් යෝජිත නගර සංවර්ධනයට අවශ්‍ය ඉඩම් වෙන් කිරීමෙන් පසු තවදුරටත් බැහැර කළ හැකි පිළිවෙළින් පර්චස් 42.03, පර්චස් 20.28 සහ පර්චස් 20.72ක් වූ ඉඩම් කොටස් 03ක් වසර 50ක දීර්ඝකාලීන බදු පදනම මත බැහැර කිරීම සඳහා, දෙමටගොඩ (537 වත්ත) පිහිටි ඉඩමෙන් ප්‍රමාණය අක්කර 03 – රූඩ් 2 – පර්චස් 24.59ක් වන ඉඩම් කොටස වසර 99ක දීර්ඝකාලීන බදු පදනම මත බැහැර කිරීම සඳහා.
ජලභීතිකා එන්නත් මාත්‍රා මිලියන 300ක් සැපයීම
ජලභීතිකා රෝගය වළක්වා ගැනීමට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන රේබීස් එන්නත් මිලිලීටර 0.5/ මිලිලීටර 1න් අක්‍රිය කරන ලද මාත්‍රා මිලියන 3ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය යටතේ ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 05ක් ලැබී තිබේ. ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන ශ්‍රී ලංකාවේ M/s Gulf Pharma (Pvt) Ltd. (Manufacturer: M/s Chiron Behring Vaccine (Pvt) Ltd., India) වෙත අදාළ ප්‍රසම්පාදනය රුපියල් මිලියන 412.80ක මුදලකට පිරිනැමීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
හියුමන් ඉමියුනොග්ලොබින් සපයා ගැනීමට ලංසුව ඉන්දියාවට
ප්‍රතිශක්ති ඌනතා සහිත රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරනු ලබන අන්ත:ශෛරික භාවිතය සඳහා වූ හියුමන් ඉමියුනොග්ලොබින් බීපී ග්රෑම් 5-6 වයල් 70,000ක් සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 06ක් ලැබී ඇත. ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වූ ඉන්දියාවේ M/s Reliance Life Sciences (Pvt) Ltd. වෙත අදාළ ප්‍රසම්පාදනය අමෙරිකානු ඩොලර් මිලියන 6.86ක මුදලකට පිරිනැමීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ජනපති නියෝග හා නිවේදන නියමයන්ට අනුමැතිය
රජයේ ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති පහත සඳහන් නිවේදනය/නියමය/නියෝගය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
2025-01-31 දිනැති අංක 2421/41 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති 2018 අංක 35 දරන මුදල් පනත යටතේ මෝටර් වාහන මත සුඛෝපභෝගී බදු සීමාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන නිවේදනය.
2025-01-31 දිනැති අංක 2421/42 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති විදුලි බලයෙන් ක්‍රියා කරන වාහන සඳහා නිෂ්පාදන බදු අනුපාතය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නිකුත් කරන ලද නියමය.
2025-01-31 දිනැති අංක 2421/30 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අපගමන බද්ද සඳහා ලබා දී ඇති 50%ක සහනය ක්‍රියාත්මක වන කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් 2003 අංක 25 දරන මුදල් පනත යටතේ නිකුත් කරන ලද නියෝගය.
ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම
වරලත් ජනමාධ්‍ය වෘත්තීයවේදීන් බිහිකිරීමේ සහ මෙරට මාධ්‍ය සමාජයේ ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය ඉහළ නැංවීම උදෙසා නිපුණතාවෙන් යුත් පිරිපුන් විද්වත් මාධ්‍ය වෘත්තීයවේදීන් පිරිසක් බිහිකිරීමේ අරමුණින් අදාළ අධ්‍යයනයන් සිදු කිරීමට අවශ්‍ය පුහුණු ආයතනයක අවශ්‍යතාව සපුරාලීම සඳහා ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, එම ආයතනය පාර්ලිමේන්තුවේ සම්මත පනතක් මඟින් සංස්ථාපනය කිරීමට හැකි වන පරිදි පනත් කෙටුම්පතක් සකස් කිරීමට 2022‑08‑15 දිනැති ඇමැති මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබේ. එකී පනත් කෙටුම්පත සකස් කිරීමේ කාර්යය නිම කිරීම සඳහා වත්මන් ඇමැති මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ප්‍රජාපාදක විශෝධන පනත සංශෝධනයට අවසර
1999 අංක 46 දරන ප්‍රජාපාදක විශෝධන පනත සංශෝධනය කිරීම සඳහා 2024‑01‑24 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපති විසින් සංශෝධන යෝජනා කිහිපයක් ඉදිරිපත් කරනු ලැබ තිබේ. එකී යෝජිත සංශෝධනයන් ද ඇතුළත් කරමින් ප්‍රජාපාදක විශෝධන පනත සංශෝධනය කිරීමට අවසන් පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැති හර්ෂණ නානායක්කාර මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ලේඛනාරක්ෂක නීතිය සංශෝධනය කිරීමට කමිටුවක්
1973 අංක 48 දරන ජාතික ලේඛනාරක්ෂක නීතිය සංශෝධනය කිරීම සඳහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට ලේඛන කළමනාකරණය, ලේඛන සංරක්ෂණය සහ අංකිත ලේඛන කළමනාකරණය යන විෂයයන් පිළිබඳ ප්‍රවීණයන්ගෙන් සමන්විත විද්වත් කමිටුවක් පත් කිරීමට 2022‑11-21 දින පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇත. එම විද්වත් කමිටුව විසින් මහජනතාවගේ අදහස් සහ අනෙකුත් උපදේශන සැලකිල්ලට ගෙන අධිලේඛන හා වාර්තා කළමනාකරණ ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කර ඇත. එසේම, 1973 අංක 48 දරන ජාතික ලේඛනාරක්ෂක නීතිය සහ 1981 අංක 30 දරන ජාතික ලේඛනාරක්ෂක (සංශෝධන) පනත පරිච්ඡින්න කර ජාතික අධිලේඛන සහ වාර්තා කළමනාකරණ පනත් කෙටුම්පතක් සකස් කිරීමට පදනම් කර ගැනීම සඳහා මූලික කෙටුම්පතක් ද සකස් කරනු ලැබ තිබේ. ඒ අනුව, විද්වත් කමිටුව විසින් සකස් කර ඇති අධිලේඛන සහ වාර්තා කළමනාකරණ ජාතික ප්‍රතිපත්තිය සම්මත කිරීමටත්, 1973 අංක 48 දරන ජාතික ලේඛනාරක්ෂක නීතිය සහ 1981 අංක 30 දරන ජාතික ලේඛනාරක්ෂක (සංශෝධන) පනත පරිච්ඡින්න කරමින් ජාතික අධිලේඛන සහ වාර්තා කළමනාකරණ පනත හඳුන්වාදීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.