රිය අනතුරකින් බරපතළ තුවාල ලැබූ නීතිඥවරයකු අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවක එය නොසලකමින් අනතුර සම්බන්ධයෙන් චෝදනා ලද සැකකාර රියැදුරකුට අධිකරණය විසින් ඇප ලබා දීමට එරෙහිව කුරුණෑගල නීතිඥ සංගමය ඉදිරිපත් කළ මෝසමක් සැලකිල්ලට ගත් කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් තිළිණ නුවන් කෞශල්‍ය ලබා දී තිබූ ඇප අවලංගු කර සැකකාර රියැදුරා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඊයේ (8) පොලීසියට නියම කළේය.
කුරුණෑගල නීතිඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ සංජීව විජේපාල විසින් ඉදිරිපත් කරන ලද මෝසමක් ඊයේ (08) විභාගයට ගනිමින් අතිරේක මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.
පසුගිය සෙනසුරාදා (5) රාත්‍රියේ කුරුණෑගල කොළඹ මාර්ගයේ වඳුරාගලදී සිදුවූ එම අනතුරෙන් පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතුවල නිරතව සිටින බුද්ධදේව ගුණරත්න නමැති නීතිඥවරයා බරපතළ තුවාල ලැබීය.
අනතුරට සම්බන්ධ අනෙක් රථය පැදවූ රිදීගම පදිංචි ව්‍යාපාරිකයකු තුවාල නොලබා බේරී තිබූ අතර කුරුණෑගල පොලීසිය විසින් අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රුපියල් ලක්ෂ පහ බැඟින් වූ සහතික ඇප දෙකක් මත මුදා හැරීමට පසුගිය 6 වන දින කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත්වරයාම නියම කර තිබුණි. තම සංගමයේ සාමාජිකත්වය දරන නීතිඥවරයා ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබමින් සිටියදී අනතුරට සම්බන්ධ සැකකාර රියැදුරා ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් කුරුණෑගල නීතිඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ සංජීව විජේපාල විසින් අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෙම මෝසම ඉදිරිපත් කළේය.
මේ අනුව අසාධ්‍ය තත්ත්වයේ පසුවන නීතිඥවරයා සම්බන්ධයෙන් අවධානය යොමු කළ කුරුණෑගල නීතිඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ සංජීව විජේපාල නීතිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව වින්දිත නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටීම සඳහා රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පත් කර තිබේ.
ඒ අනුව ඊයේ (08) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අනතුර සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති කරුණු කිසිවක් සැලකිල්ලට නොගෙන සැකකාර රියැදුරාට ඇප ලබා දීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන බව සඳහන් කළේය.
මෙහිදී මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ කුරුණෑගල මූලස්ථාන පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, වින්දත නීතිඥවරයා ඉතාම අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටිත්දී ඔහුට තුවාල සිදුව නැතැයි යනුවෙන් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කිරීම බරපතළ වරදක් බව පෙන්වා දුන්නේය.
ඒ අනුව පොලීසිය අධිකරණයද නොමග යවමින් සැකකාර රියැදුරාට පක්ෂපාති අන්දමින් කටයුතු කර ඇති බවට දැඩි ලෙස චෝදනා එල්ල කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කළ සියලුම පොලිස් නිලධාරීන් නීතිපතිවරයාගේ කාර්යාලය කැඳවා ඒ සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් සිදු කරන බවද අධිකරණයට කියා සිටියේය.
මෙම අනතුර සම්බන්ධයෙන් වන විමර්ශන අවසන්ව නොතිබෙන අවස්ථාවක සැකකරුට ඇප ලබා දීම පිළිබඳ කිසිවෙකු හෝ විරුද්ධ නොවීම හේතුවෙන් ධනවත් ව්‍යාපාරිකයෙකු වන ඔහු අධිකරණය මඟ හැර රටින් පලා යාමේ අවස්ථාවක් පවතින බවත්, එසේ සැකයට තුඩු දෙන කරුණු රැසක් තිබියදීත් ඒ කිසිවක් නොසලකමින් ඔහුට ඇප නියම කිරීම විමතියට කරුණක් බවත් ඔහු සඳහන් කළේය.
පොලීසියට බලය ලබාදී ඇත්තේ අපක්ෂපාතීව විනිවිදභාවයෙන් යුතුව වින්දිතයන් වෙනුවෙන් කටයුතු කිරීම සඳහා වුවද කුරුණෑගල පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් මෙම අනතුර සම්බන්ධයෙන් එසේ කටයුතු කර නැති බවටද දිලීප පීරිස් චෝදනා කළේය.
ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරයා පනවා තිබූ ඇප කොන්දේසි අවලංගු කරමින් සැකකාර රියැදුරා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට නියම කළේය.