Home » චාමර සම්පත්ට මිලියන 2 බැගින් ශරීර ඇප 5ක්

චාමර සම්පත්ට මිලියන 2 බැගින් ශරීර ඇප 5ක්

විදෙස් ගමන් තහනම්

by mahesh
April 9, 2025 4:00 pm 0 comment

කල්පනි අබේසිංහ

බදුල්ල අධිකරණයේ නියෝගයකට නැවත රිමාන්ඩ්

ඌව පළාත් සභාවට අයත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ බදුල්ල ශාඛාවේ කල් පිරීමට තිබූ ස්ථිර තැන්පතු ඉවත් කර ගෙන රජයට ලක්ෂ 173ක පාඩුවක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධ‍ෙයන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා රුපියල් මිලියන 2 බැගින් වූ ශරීර ඇප පහක් සහ රුපියල් පනස්දාහක මුදල් ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ (8) නියෝග කළාය.

සිද්ධියට අදාළ සැකකාර චාමර සම්පත් දසනායක මහතාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසටද නියෝග කළාය.

ඊයේ උදෑසන නඩු කටයුතු අවසන් වීමෙන් පසු සැකකරු පාර්ලිමේන්තු කටයුතු සඳහා යොමු කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියම කරන ලදී.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ නීති සුලෝචනා මහත්මිය සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන අවසන් වී ඇති බවට අධිකරණයට කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කෙරිණි.

ඌව පළාත් සභාවට අයත් පෙර පාසල් දරුවන්හට පාසල් බෑග් ලබා දෙන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා බදුල්ල ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් අරමුදලක් ලබා දෙන ලෙසට ඉල්ලා සිටියද එම බැංකුව මඟින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙලෙස කල් පිරීමට නියමිතව තිබූ ස්ථිර තැන්පතු ඉවත් කරගෙන ඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

ඊයේ උදෑසන බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර උදෑසන 11.00ට පමණ නඩුව නැවත කැඳවනු ලැබීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා අල්ලස් කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව මෙලෙස මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

2016 වර්ෂයේ සමන්ත විද්‍යාරත්න මහතා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව බී වාර්තා 3ක් යටතේ චෝදනා ගොනුකර තිබුණි.

ඌව පළාත් සභාවේ හිටපු ප්‍රධාන ලේකම් ඇතුළු සිද්ධියට අදාළ සියලුම සාක්ෂිකරුවන්ගෙන් සතියක් ඇතුළත ප්‍රකාශ ලබාගෙන විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය පෙර නඩු දිනයේදී කරන ලද නියෝගයට අනුව මූලික විමර්ශන කටයුතු අවසන් වී තිබිණි.

ඌව පළාතේ පෙර පාසල් දරුවන්ට පාසල් බෑග් ලබා දෙන බව පවසමින් එම පළාත් සභාවට අයත් බදුල්ල ලංකා බැංකුව මඟින් ලබාගත් ලක්ෂ දහයක මුදල චාමර සම්පත් දසනායක පදනමට බැර කර ගැනීම , මහජන බැංකුවේ තිබුණු ලක්ෂ විසිපහක අරමුදලක් චාමර සම්පත් දසනායක පදනමට බැර කර ගැනීම සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අරමුදල් ඉල්ලා සිටි අවස්ථාවේදී සැකකරු හට ලබා නොදීම හේතුවෙන් කල් පිරීමට නියමිතව තිබූ ස්ථාවර ගිණුම් කල් පිරීමට පෙර ඉවත් කරගෙන රජයට ලක්ෂ 173ක පාඩුවක් සිදු කිරීම යන චෝදනා තුන යටතේ නඩු ගොනුකර තිබුණි. එයින් පළමු හා දෙවැනි චෝදනා දෙක සම්බන්ධයෙන් සැකකරුට මෙයට ඇප ලැබී තිබුණි.

Ò ස්වාමීනි, තම සේවා දායකයාට පෙරේදා දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ගොනු කර තිබූ නඩුවකට මෙම මස 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා, ඒ නිසා මෙම නඩුකරයට ඇප ලබා දෙන්න, ස්වාමීනි තම සේවා දායකයාහට පාර්ලිමේන්තුවේ කටයුතු පවතින බැවින් ඒ සඳහා යොමු කරන ලෙසට නියෝගයක් ලබා දෙන ලෙසට ද අධිකරණයෙන් ඉල්ලනවා Òසැකකාර පාර්ශ්වය වෙනුවෙන් අධිකරණය පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා මෙහිදී ඉල්ලා සිටියේය.

මෙම සිද්ධියට අදාළව පොදු දේපළ පනත යටතේ වරදක් අනාවරණය වී තිබේ නම් ඒ පිළිබඳ විමර්ශනය කිරීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙර නඩු දිනයකදී මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කර තිබුණි.

ඒ අනුව දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කළ අතර නඩු කටයුතු අවසන් වීමෙන් පසුව පාර්ලිමේන්තු කටයුතු සඳහා යොමු කරන ලෙසටද බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළාය.

මීළඟ නඩු දිනය ජුනි 17 කැඳවේ.

කෙසේ වුවද තවත් නඩුවක් සම්බන්ධයෙන් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් දෙන ලද නියෝගයක් අනුව සැකකාර මන්ත්‍රීවරයා නැවත බන්ධනාගාරගත කෙරිණි.

ඡායාරූප – සුදත් මලවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT