බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් ලොරි රථයක් ඇමැතිවරයකුගේ මැදිහත්වීමෙන් මුදාහැර ඇති බවට ව්‍යාජ තොරතුරක් පතුරවමින් කළුතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාටත් තෙබුවන පොලිස් ස්ථානාධිපතිවරයාටත් ඒ සම්බන්ධයෙන් දුරකතන ඇමතුම් දෙමින් බැණ තර්ජනය කළ කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ටී.ඩී. ජයසිරි මහතාට එරෙහිව කාන්තා සහකාර පොලිස් අධිකාරී ඉනෝකා ලියනගේ මහත්මියගේ මෙහෙයවීමෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානමින් පොලිස් පොත්වල සියලු සටහන් තබා ලොරි රථය පොලිස් ස්ථානයේ ගාල්කර තිබියදීත් එම රථය ඇමැතිවරයකුගේ මැදිහත්වීම මත මුදාහැර ඇති බව සඳහන් කරමින් මෙම තර්ජනය කර ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ලේකම්වරයකු බව ඔහු පවසන බවත් මෙවර පළාත් පාලන මැතිවරණයට ද ඔහු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින බවත් පොලීසිය සඳහන් කරයි.
බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් තෙබුවන පොලීසියේ නිලධාරීන් විසින් LC 8924 අංකය දරන ලොරි රථය අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 03 වැනිදාය. එම රථය පොලිස් ස්ථානයට රැගෙනවිත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට අවශ්‍ය සටහන් ද පොලිස් පොත්වල තැබීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත. තෙබුවන පොලිස් ස්ථානයට නියමිත අධිකරණ දිනයට ලොරි රථය ඉදිරිපත් කිරීමට සූදානමින් රථය පොලිස් ස්ථානයේ ගාල්කර තිබී ඇතැයි උසස් පොලිස් නිලධාරීයෙක් පැවසීය.
කළුතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර සහ තෙබුවන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එස්. දර්ශන මහතාට කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති මෙන්ම මෙවර මැතිවරණයේ අපේක්ෂකයකු වන ටී.ඩී. ජයසිරි මහතා දුරකතනයෙන් ඇමතුම් ගෙන බැණ තර්ජනය කර ඇත්තේ පොලිස් භාරයේ තිබුණු එම වැලි ලොරිය මුදාහැර ඇති බව සඳහන් කරමිනි.
මෙම පුද්ගලයා පසුගිය 06 වැනිදා තෙබුවන පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරි ජංගම දුරකතනයට ඇමතුමක් ගෙන රජයේ ඇමැතිවරයකුගේ මැදිහත් වීම මත ලොරි රථය මුදාහැර ඇති බව සඳහන් කරමින් පොලිස් ස්ථානාධිපතිවරයාට දොස් නඟා බැණ තර්ජනය කර ඇති බව සඳහන්ය. එදිනම නැවතත් පොලිස් ස්ථානයේ දුරකතනයට ද ඔහු ඇමතුමක් ගෙන උප සේවයේ සිටි පොලිස් කොස්තාපල් වසන්තට ද බැණවැදී ඇත. ඒ බව මෙම නිලධාරීන් පොලිස් පොත්වල සටහන් තබා ඇති බවත් ඒ අනුව විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.