බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධාන කරන රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලිය 2025ට අයදුම්පත් කැඳවීම ආරම්භ කෙරේ.
රාජ්‍ය ආයතනවල සේවයේ නිරත නිලධාරීන්ගේ නිර්මාණ හැකියාව ඔප්නැංවීම, ඇගයීම සහ නිර්මාණ එළිදැක්වීමේ අවස්ථාව උදා කිරීම සහ එමඟින් රාජ්‍ය ආයතනවල සංස්කෘතික කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මෙවර ද රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලිය පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
කෙටි කතා,ගීත රචනා, පද්‍ය රචනා, ළමා සාහිත්‍ය නිර්මාණ (පින්තූර කතාව)ළමා සාහිත්‍යය චිත්‍ර නිර්මාණ, කෙටි නාට්‍ය, කෙටි චිත්‍රපට, ඡායාරූප යන අංශ සඳහා තරග කිරීමට රාජ්‍ය සේවකයන්ට අවස්ථාව හිමි වේ. අමාත්‍යාංශ,දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය සේවයේ හා අර්ධ රාජ්‍ය සේවයේ නිරත ඕනෑම අයකුට මේ තරගාවලියට ඉදිරිපත් විය හැකි අතර බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන ශාඛාවේ නිලධාරීන්ට හැර අනුබද්ධ සියලු ආයතනවල නිලධාරීන්ටද මේ සඳහා සහභාගි විය හැකිය. අයදුම්පත්‍රයේ හැර නිර්මාණයේ තරගකරුවන්ගේ නම හෝ ආයතනය පිළිබඳ කිසිදු සඳහනක් අන්තර්ගත නොකළ යුතුය. කිසියම් හෙයකින් එසේ යම් සඳහනක් අදාළ නිර්මාණයේ අන්තර්ගත වී නම් එම නිර්මාණය ප්‍රතික්ෂේප කරනු ලැබේ.
යොමු කරන නිර්මාණ ස්වතන්ත්‍ර විය යුතු අතර පරිවර්තන හෝ අනුවර්තන නොවිය යුතුය.
කිසියම් ජාතියකට ආගමකට සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ චරිතයට අපහාස වන පරිද්දෙන් හෝ යම් පුද්ගලයකු හෝ පිරිසක් පීඩාවට පත්වන ආකාරයෙන් හෝ රජයේ හෝ රජයේ ප්‍රතිපත්ති විවේචනය කරන පරිදි නිර්මාණය ඉදිරිපත් කෙරෙන නිර්මාණ ප්‍රතික්ෂේප කෙරේ.
ජාතික සමගිය හෝ ආගමික සහජීවනයට බාධා වන කිසිම නිර්මාණයක් භාර ගනු නොලබන අතර යම් හෙයකින් මෙවැනි නිර්මාණයක් තරගය සඳහා ඉදිරිපත් කිරීමෙන් යම් ගැටලුවක් ඇතිවුවහොත් ඒ සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යංශය කිසිදු වගකීමකට නොබැඳේ.
කෙටි කතා, ගීත රචනා, පද්‍ය රචනා, ළමා නිර්මාණ සහ කෙටි නාට්‍ය තරගාවලින් පමණක් අයදුම් කිරීමේදී සිංහල හා දෙමළ භාෂා මධ්‍යයෙන් සිදු කළ හැකිය. තරගාවලියේ ජයග්‍රාහකයන්ට සම්මාන සහ මුදල් ත්‍යාග පිරිනැමීමට අපේක්ෂා කෙරේ.
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය,
8 වැනි මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල ලිපිනයට අයදුම් පත්‍රය සමඟ නිර්මාණ එවිය යුතුය.
කෙටි කතා, ගීත රචනා, පද්‍ය රචනා, ළමා සාහිත්‍ය නිර්මාණ, චිත්‍ර නිර්මාණ සහ ඡායාරූප නිර්මාණ භාර ගන්නා අවසන් දිනය 2025 මැයි මස 15 වැනිදායි.
කෙටි නාට්‍ය හා කෙටි චිත්‍රපට නිර්මාණ භාර ගැනීම 2025 ජූනි 30 වැනිදායින් අවසන් වේ.
තරග කොන්දේසි ඇතුළු වැඩිදුර තොරතුරු 0112861325 දුරකතන අංකයෙන් විමසීමෙන්ද www.cultural .gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන්ද ලබාගත හැකිය.