Home » කෙටි කලක් තුළ ජනතාවට සහන රැසක් ලබාදුන්නා

කෙටි කලක් තුළ ජනතාවට සහන රැසක් ලබාදුන්නා

වෙළෙඳ , වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය ඇමැති ආර්.එම්. ජයවර්ධන

by mahesh
April 9, 2025 4:00 pm 0 comment

දිල්හානි ජයවර්ධන

– දේශපාලනඥයන් පොහොසත් කරන ක්‍රමය නැවතුණා
– වී ගොවියාට ඉහළම සහතික මිලක් ලැබුණා
– ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි
– එකවර මූලික වැටුප වැඩියෙන්ම වැඩි කළේ අපි

වෙළෙඳ , වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර ක්ෂේත්‍ර යටතේ පවතින ආයතන නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගත්, ඉදිරි මැතිවරණයට ඇති සූදානම පිළිබඳත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය ඇමැති ආර්. එම්. ජයවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවකි, මේ.

අලුත් ආණ්ඩුවෙන් අලුත් අවුරුද්දට ලැබෙන සහන ගැන කතා කරමු?

වර්තමාන ආණ්ඩුවේ ජනපති පත් වෙලා මාස හයකට ටිකක් වැඩියි. ආණ්ඩුව පිහිටුවා මාස හතරයි දින ගණනක් වෙනවා.

අපි ආණ්ඩුව භාර ගන්න කොට රට තිබු තැන හැමෝම දන්නවා. ආර්ථික වශයෙන් කඩාවැටී, බංකොලොත්භාවයට පත්වූ, 68%ක පමණ පිරිසකට දෛනික ආහාර වේලවත් ගැනීමට නොහැකිවූ, රැකියා අහිමිවූ ජනතාවට ජීවත් විය නොහැකි අමාරුම කාලයක තමයි අපි ආණ්ඩුව භාර ගත්තේ. එසේ තිබූ ආණ්ඩුව භාරගෙන කෙටි කාලයකදී ජනාධිපතිවරයාත්, මැති ඇමැතිවරුත් ගත් ක්‍රියාමාර්ග මත මේ වන විට රට යම් මට්ටමකින් ස්ථාවර වෙමින් තියෙනවා. එම තත්ත්වය යටතේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ බව ජනතාවට තහවුරු කරන්න අපට පුළුවන්කම ලැබුණා. වරදාන වරප්‍රසාද ගැන නොතකමින් ජනතාව වෙනුවෙන් කැප වන දේශපාලන සංස්කෘතිය අප විසින් ක්‍රියාවට නංවමින් තියෙනවා. හොරකම, වංචාව, දූෂණය සහ නාස්තිය නැති කළ අලුත් ආණ්ඩුව යටතේ සමරන පළමු සිංහල හින්දු අලුත් අවුරුද්ද මේ.

අපි පසුගිය මාසයේ සම්මත කළ අය-වැයෙන් ජනතාවට විශාල සහන ප්‍රමාණයක් ලබා දුන්නා. එකක් රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම. මෑත ඉතිහාසයේ එක්වර මූලික වැටුප වැඩිවීම සිදු වූයේ මේ අය-වැයෙන්. එහි පළමු වාරිකය මේ මාසයේ එනම් අවුරුද්දට පෙර ජනතාව අතට පත්වෙලා තියෙනවා. එනිසා වැටුප් ලබන හැම කෙනකුටම බාධාවකින් තොරව සියයට සීයක් නැති වුණත් සාමාන්‍ය මට්ටමෙන් හෝ අවුරුද්ද සමරන්න පුළුවන්.

ඒ වගේම අපි වීවලට රුපියල් 120ක සහතික මිලක් දුන්නා. මෑත කාලයේ අපි දන්න ලංකාවේ වී ගොවියාට ලැබුණු ඉහළම සහතික මිල තමයි මේ ලැබුණේ. රුපියල් 120ට එහා වැඩි මිලකට සියලුම ගොවියන්ට වී විකුණන්න අවස්ථාව ලැබුණා.

එනිසා තමන්ගේ වී විකුණාගැනීම ගැන ගොවියෝ ඉන්නේ සතුටින්. බඩඉරිඟු ගොවීනුත් මේ වෙලාවේ තම අස්වැන්න විකුණමින් ඉන්නේ. ඔවුන් ඉතාම සතුටින් ඉන්න බව පසුගිය දිනවල පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා. රුපියල් 150, 155 වගේ මිලකට අමු බඩඉරිඟු පවා විකුණාගැනීමට පුළුවන්කම ලැබී තියෙනවා.

අනෙක් පැත්තෙන් මේ මාසයේ ඉඳලා අස්වැසුම ඇතුළු සියලු සහන ලබන අයට එම දීමනා වැඩි කර තියෙනවා. ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේදී 75%ක පමණ භාණ්ඩවල මිල අඩුවීමක් තියෙනවා. උදාහරණයක් ලෙස රුපියල් 55ට තිබූ බිත්තරයක් රුපියල් 32ට 33ට වගේ අඩු වෙලා. රුපියල් 1350ට තිබූ හාල්මැස්සෝ කිලෝව මිල 600 ගාණට අඩු වෙලා. 1600ට පමණ තිබූ වියළි මිරිස් කිලෝව 600 ගාණට අඩු වෙලා. මේ වගේ සෑම භාණ්ඩයකම මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. පොදුවේ ගත්තොත් මේ මිල අඩුවීම 25%ක පමණ අගයක් ගන්නවා. මේ නිසා ජනතාවට භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව වැඩි වෙලා තියෙනවා. ජනතාව මේ අවුරුද්ද අවුරුදු කිහිපයකට පසුව යම් සතුටකින් සමරන්න සූදානම් බවක් පේනවා. ඒක අපට මේ දවස්වල හොඳින් පේනවා. වත්මන් ආණ්ඩුවේ පළමුවෙනි අවුරුද්ද ජනතාවට සියයට සීයක් නැති වුණත් පෙරට සාපේක්ෂව සතුටින් සමරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා.

ජනපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ජනතාව ජාතික ජන බලවේගය කෙරෙහි තැබූ විශ්වාස තව නොබෝ දිනකින් පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී කුමන ස්වරූපයක් ගනීවිද?

ජාතික ජන බලවේගය පළාත් පාලන මැතිවරණයට ඉතාම ඉහළ මට්ටමක සූදානමක් තියෙනවා. මේ රට වසර 76ක් පුරා පාලනය කළ අය ජනතාවගේ පැත්තෙන් හිතනවා වෙනුවට දේශපාලනඥයාගේ පැත්තෙන් හිතලා සියලු කටයුතු සිදු කළා.

එනිසා දේශපාලනඥයන් පොහොසත් වුණා. ඔවුන් ආර්ථික වශයෙන් ශක්තිමත් වුණා. ජනතාව හැමදාම පීඩාවට පත් වුණා. ඒත් අපි ජනපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ප්‍රකාශ කළා, ජනතාවගේ පැත්තෙන් හිතන, ජනතාව වෙනුවෙන් වැඩ කරන පාලනයක් පිහිටුවනවා කියලා. ඒ පාලනයට ජනතාවගෙන් සහාය ඉල්ලුවා. ඒ අනුව ජනාධිපතිවරණයේදී 42%ක් ඡන්ද ලැබෙද්දී මහමැතිවරණයේදී එම ප්‍රමාණය 60%කට ආසන්නව ගනිමින් ජයග්‍රහණය කරන්න අපට හැකියාව ලැබුණා.

ජනතාව දුන් ඒ ජයග්‍රහණයට අපි සාධාරණයක් ඉටු කරමින් ඉන්නවා. ඒ නිසා මේ පළාත් පාලන මැතිවරණය ජාතික ජන බලවේගයට අභියෝගයක් වෙලා නෑ. අනෙක් පැත්තෙන් විපක්ෂයේ කිසිදු පක්ෂයකට සංවිධානාත්මක මැතිවරණයකට මුහුණ දෙන්න පුළුවන්කමක් නෑ. ඒ අය පක්ෂ අභ්‍යන්තරයේ ආරවුල් හදාගෙන තියෙනවා. බිම් මට්ටමට ගිහින් ජනතාවගෙන් නැවත තමන්ට බලය ඉල්ලන්න ඒ අය සමාජයට දුන්න දෙයක් නෑ.

අපි මේ මැතිවරණය ගිය මහමැතිවරණය හා සමානව නැත්නම් ඊට වැඩි ප්‍රමාණයකින් ජයග්‍රහණය කරනවා කියලා විශ්වාස කරනවා.

අත්‍යවශ්‍ය භාණ්ඩ පාරිභෝගිකයා වෙත සහන මිලට ලබා දීම වෙනුවෙන් සමුපකාර සහ සතොස ජාලය පුළුල් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?

පසුගිය ආණ්ඩු සමුපකාර සහ සතොස කියන ආයතන විතරක් නෙවේ, අපේ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 17 දේශපාලනඥයන්ගේ ලැඟුම්හල් බවට පත් කර තිබුණා. දේශපාලනඥයන් ජීවත් වෙලා තියෙන්නෙ මේවා ඇතුළෙ. දේශපාලනඥයන්ගේ පවුල් ගොඩදාන තැනක් බවට මේ ආයතන පත් කර තිබුණා. අපේ ඇමැතිවරයා ඇතුළු අපි මේ අමාත්‍යාංශය ගත්තාට පසුව එහි ආයතන ගැන විධිමත් සැලැස්මක් අනුව කටයුතු කරනවා. දැනට රට පුරා සතොස ශාඛා 451ක් තියෙනවා. ඊට අමතරව මේ වසරේ අලුතින් සතොස ශාඛා 150ක් ආරම්භ කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉදිරි වසර දෙක, තුන ඇතුළත සතොස ශාඛා සංඛ්‍යාව 1000ක් දක්වා වැඩි කරන්නත් සැලසුම් හදලා තියෙනවා.

සමුපකාර ශාඛා 3000කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒවායෙන් බහුතරයක් වහලා තියෙන්නෙ. හොරකම සහ නාස්තිය නිසා මේවා දැඩි අර්බුදයකට ලක් වෙලා තියෙනවා. ඒවා නැවත ශක්තිමත් කිරීමේ බලාපොරොත්තුවක් අපට තියෙනවා. ඊට අමතරව නිෂ්පාදන සමූපකාර සමිති 1000ක් මේ වසරේ ගොඩනඟන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. ආර්ථික මධ්‍යස්ථාන 18ක් තියෙනවා. එයින් 14ක් ක්‍රියාත්මකයි. එහෙත් ක්‍රියාත්මක වන ආකාරය හොඳ තත්ත්වයක නෑ. ඒවා අවිධිමත් විදිහට තියෙන්නෙ. නව ආර්ථික මධ්‍යස්ථාන 4ක් අලුතින් පටන්ගෙන සියලු ආර්ථික මධ්‍යස්ථාන ඒකාබද්ධ කළ සමාගමක් විදිහට ශක්තිමත් කර ඉදිරියට ගෙන යන්න කටයුතු කරනවා.

එහි පළමු අදියර ලෙස දඹුල්ල, කැප්පෙටිපොළ සහ තඹුත්තේගම කියන ආර්ථික මධ්‍යස්ථාන තුන කොරියානු ආධාර යටතේ ඉතා හොඳ තත්ත්වයකට නැවත ප්‍රතිසංස්කරණය කර විධිමත් ක්‍රමයට කෘෂි නිෂ්පාදන මිලදී ගැනීම සහ ගබඩා කිරීම සඳහා ශීත ගබඩා ඇති කිරීමට කටයුතු කරමින් ඉන්නවා.

අමාත්‍යාංශයේ ආයතන 17ම නව සැලසුම්සහගත වැඩපිළිවෙළක් යටතේ ඉදිරියට ගෙන යනවා. ගොවියාට සාධාරණ මිලක් ලබා දීමටත්, පාරිභෝගිකයාට සාධාරණ, පිරිසුදු සහ ප්‍රමාණාත්මකව මිලදී ගත හැකි මට්ට්මේ ආහාර ලබා දීමටත් සමුපකාර සහ සතොස ජාලය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

අතරමැදියාගෙන් නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමට විධිමත් සැලසුමක් තිබේද?

සතොස ජාලය පාවිච්චි කර ගොවි නිෂ්පාදන මිලදී ගැනීම සහ ප්‍රවාහනය කිරීම කියන කාරණා වේගවත් කරන්න කටයුතු කරනවා. ඊට අමතරව තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය වැඩිදියුණු කර තඹුත්තේගම සිට මාතර දක්වා දිවෙන දුම්රිය මාර්ගයක් ඔස්සේ ගොවි නිෂ්පාදන ප්‍රවාහනය කර අතරමැදියන් ප්‍රමාණය අඩු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එයින් ගොවියා අතට යම් සාධාරණ මිලක් දීමට හැකියාව ලැබෙනවා. වර්තමාන ආණ්ඩුවෙන් ඒ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කර තියෙනවා. මේ සියල්ල ඇතුළෙ අතරමැදියන් ප්‍රමාණය අඩු කරන ක්‍රියාවලිය වේගවත්ව කර ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. එහෙම වුණොත් අතරමැද යන වියදම පාරිභෝගිකයා සහ ගොවියා අතට පත් වන ක්‍රමයක් හදා ගන්න පුළුවන්.

ව්‍යාජ වෙළෙඳ නාම සහිත නිෂ්පාදකයන්ගෙන් පාරිභෝගිකයා ආරක්ෂා කරගැනීමට පියවර ගෙන තිබෙනවාද?

මේ සඳහා පාරිභෝගික අධිකාරිය සක්‍රිය දායකත්වය දෙමින් ඉන්නවා. ප්‍රමිති ආයතනය සක්‍රිය කරමින් ඒ සඳහා මැදිහත්වීමට කටයුතු කරනවා. ජනතාවට ලැබෙන ආහාරවල සුරක්ෂිතතාව හරියටම තහවුරු කර දෙන එක අපේ අරමුණයි. ඒ සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍යාංශයේ සූදානමක් තියෙනවා. ඒ වෙනුවෙන් අදාළ නිලධාරීන් දැනුම්වත් කරමින් අදාළ මැදිහත්වීම් සිදු කරනවා. විශේෂයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය සහ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව ඇතුළු ඒ පිළිබඳ සොයාබැලීමට තිබෙන අනෙක් ආයතන සියල්ල සක්‍රිය කිරීමට බලාපොරොත්තු වෙනවා.

පාරිභෝගිකයාට ව්‍යාජ ආහාර ලබා දීම, පරිභෝජනයට නුසුදුසු ආහාර ලබා දීම, මිලට සරිලන ලෙස ආහාරවල ප්‍රමාණය නොතිබීම, ව්‍යාජ කිරුම් මිනුම් උපකරණ භාවිතය ආදිය සොයා බැලීමට අපි මැදිහත් වෙනවා. පාරිභෝගිකයාට තමන්ට සුදුසුම ආහාර ලබා ගැනීමට අවශ්‍ය වටපිටාව සකසා දීම අපේ අමාත්‍යාංශයේ වගකීමක්. ඒ වගකීම ඉෂ්ට කරන්න අපි මැදිහත් වෙනවා.

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමේදී ශක්තිමත් දත්ත පද්ධතියක් අවශ්‍යයි?

අපේ අමාත්‍යාංශයේ විවිධ ආයතන මේ වන විටත් ඩිජිටල්කරණය වෙමින් ඒ සඳහා දත්ත පද්ධති සකස් කරමින් ඉන්නවා. ඒ දත්ත පද්ධති සකස් කිරීම සඳහා වූ වැඩපිළිවෙළ වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කර තියෙනවා. ඒ වෙනුවෙන් ආයතන තෝරා ගනිමින් ඉන්නවා. විශේෂයෙන් අපේ රටේ ජනතාව වාර්ෂිකව ආහාර කොපමණ ප්‍රමාණයක් පරිහරණය කරනවාද සහ අපේ රටේ කොපමණ ආහාර ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවාද ආදී සියලු දේවල් සකස් කරගැනීමේ පළමු අදියර විදිහට සතොස මේ වන විට ඩිජිටල්කරණය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් සකස් කරමින් ඉන්නවා. අපේ අපේක්ෂාව මේ දත්ත පද්ධතිය ඉතා ඉක්මනින් අපේ අමාත්‍යාංශය තුළ ස්ථාපිත කිරීමයි.

නිෂ්පාදන අපතේ යෑම වැළැක්වීමට දැනුම්වත් කිරීම් සිදු වන්නේ කෙසේද?

ගොවියාගේ සිට නිෂ්පාදනයක් පාරිභෝගිකයා අතට පත්වන තෙක් සිටින සියලු අයගේ ආකල්පමය වෙනසක් හදන්න අපට අවශ්‍යයි. පසුගිය කාලයේ එක වකවානුවක ප්ලාස්ටික් භාජනවල එළවළු සහ පලතුරු අසුරා ප්‍රවාහනය කළා. මේ පිළිබඳ ගොවි ජනතාවත්, ඒවා විකුණන ව්‍යාපාරික ප්‍රජාවත් එතරම් උනන්දුවක් දැක්වූයේ නෑ. අපේ රටේ එළවළු සහ පලතුරු නිෂ්පාදනවලින් 60%ක් 65%ක් තමයි පාරිභෝගිකයා අතට පත් වෙන්නේ. ඉතිරිය අතරමඟදී විනාශ වෙනවා. එනිසා මෙහි පළමු අදියර හැටියට ශීත ගබඩා නිර්මාණය කිරීමට අවධානය යොමු කළා. දැනට එක ගබඩාවක් නිර්මාණ කර අවසන්. මෙහි මෙට්‍රික්ටොන් 300ක් ගබඩා කරන්න පුළුවන්. මේ වසරේ තවත් ශීත ගබඩා 4ක් ගොඩනඟන්න මුදල් ප්‍රතිපාදන වෙන් කර තියෙනවා. අනෙක නිෂ්පාදන ප්‍රවාහනයේදී දුම්රිය භාවිත කිරීම. මම රට පුරා ආර්ථික මධ්‍යස්ථාන නිරීක්ෂණයට ගියා. එහිදී දුටු දේ තමයි, තක්කාලි පවා ගෝණිවල දාලා ගේන එක. එනිසා ප්‍රවාහනයට කලින් මේවා ගොවි බිමේ සිට ගෙන ඒමේදී ඇසුරුම් කරන ආකාරය ඉතා වැදගත්. ඒ පිළිබඳ ගොවියන් සහ ව්‍යාපාරිකයන් දැනුම්වත් කිරීම වගේම ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම ගැන අමාත්‍යාංශය මේ වන විට සාකච්ඡා කරමින් ඉන්නවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT