Home » සදාදරණීය සගයාණනි, ඔබට විප්ලවීය ආචාරය!

සදාදරණීය සගයාණනි, ඔබට විප්ලවීය ආචාරය!

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතාගේ අභාවය වෙනුවෙනි.

by mahesh
April 9, 2025 4:00 pm 0 comment

පරාර්ථකාමී මනුෂ්‍ය ආත්මයක භාවිතය සදාතනික ගෞරවාදරයට පාත්‍ර වන්නකි. තම ජීවිතයේ පෞද්ගලික පරමාර්ථ පසෙකළා පොදු සමාජ වුවමනාවන් වෙනුවෙන් කැපවීම අතිශය දුර්ලභ ගුණාංගයකි. අප මේ මොහොතේ ඇගයුමට ලක් කරන මනුෂ්‍යයා එකී පරාර්ථකාමිත්වයට පරිසමාප්ත වෙයිද අර්ථ සපයන ලද ශ්‍රේෂ්ඨ මිනිසෙක් බව අවිවාදිතය. ඔහු අන්කවරෙක්වත් නොව කෝසල නුවන් ජයවීර නම් වූ නිහතමානී නිරහංකාර මිනිසාය. කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිය කාර්යභාරයට අවතීර්ණ වෙමින් සිටි මහජන නියෝජිතයාය. අද ඔහු පිළිබඳ මතක ආවර්ජනය කිරීමට සිදුව ඇත්තේ ජීවිතයේ වසර තිස් අටක් වැනි පිරිපුන් යොවුන් වියේදීම ඔහු අපගෙන් වියෝ වී ඇති බැවිනි. පළමුව ඒ ශ්‍රේෂ්ඨ තරුණයාට අපගේ විප්ලවීය ආචාරය පළ කර සිටිමු.

කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ආසනයේ දෙහිඕවිට නාපාවල ග්‍රාමයේ උපත ලද කෝසල නුවන් ජයවීර ගුරුගල්ල කනිෂ්ඨ විද්‍යාලයෙන් හා ඇහැළියගොඩ මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ගත්තේය. හෙතෙම, උසස් අධ්‍යාපනය ලැබීමට 2007 අධ්‍යයන වර්ෂයේදී විද්‍යාර්ථියෙක් ලෙස ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. එහිදී ඉංජිනේරු පාඨමාලාව සාර්ථකව හදාරමින් සිටින අතරතුර අධ්‍යාපනය විෂයෙහි හිටපු පාලකයින් විසින් ගොඩනැඟූ අර්බුදය කෝසලට ද දැඩිව දැනුණි. ඒ සඳහා අද අපේ කතානායකයාණන් දක්වන ලද ප්‍රතිචාරය වූයේ ඔහු ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය ලබාදෙන ප්‍රබල චරිතයක් බවට පත්කිරීමයි. ඉංජිනේරුවරයෙක් ලෙස වෘත්තීය ජීවිතයට පිවිසෙනු වෙනුවට 2010 වසරේ විවෘත විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයට නායකත්වය දෙමින් එහි සභාපතිවරයා ලෙස සුවිසල් කාර්ය භාරයක් කෝසල ඉටු කළේය. ඒ මේ රටේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවගේ අයිතීන් දිනා දීම වෙනුවෙනි.

එසේම, සමාජවාදී තරුණ සංගමයේ සාමාජිකයකුව සිටියදීම කෝසල නුවන් ජයවීර සහෝදරයා බහුජන දේශපාලනයේ වගකීම් දැරීමට ඉදිරිපත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස 2018 – 2021 දෙවසරේ ජනතා විමුක්ති පෙරමුණේ දෙහිඕවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙස සේවාව ලබාදුනි. අව්ව, වැස්ස, පින්න නොබලා බෙහෙත්හේත් කෑම, බීම නොතකා යතුරුපැදියෙන්, පාපැදියෙන්, බස් රථයෙන් හෝ දෙපයින් ඇවිද යමින් ඔහු පොදු ජනයා වෙනුවෙන් කටයුතු කළේය. අධ්‍යාපන කප්පාදුව, පරිසර විනාශය, ස්වභාවික සම්පත් විකුණා දැමීම, විරැකියාව හා තරුණ මර්දනයට එරෙහිව කෝසල සහෝදරයා සටන් කළේය. උද්ඝෝෂණය කළේය. වර්ජන, උපවාස කළේය. ඒ තම ආත්ම ලාභය පසෙකලා පොදු සමාජ සුභ සිද්ධිය වෙනුවෙනි. ජනතා විමුක්ති පෙරමුණේ පහළම සංවිධානයේ සිට දිස්ත්‍රික් සංවිධානය තෙක් ගමන් කරන්නේ එකී අවංක, නිර්ව්‍යාජ කැප කිරීම හේතු කොට ගෙනය.

එමෙන්ම, 2019 වසරේ සිට ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද ජාතික ජන බලවේගය නම් පුළුල් දැවැන්ත මහජන ව්‍යාපාරය ශක්තිමත් කිරීම උදෙසා කෝසල ආරම්භයේ සිටම ඇප කැප විය. ඒ අතරතුර මෙකී දේශපාලන ව්‍යාපාරය මෙරට පාලන බලය ලබා ගැනීම දක්වාම මෙහෙයවීමට තාරුණ්‍යය ඒකරාශී කිරීමේ වගකීමට කරවුරදෙමින් සමාජවාදී තරුණ සංගමයේ දිස්ත්‍රික් නායකයාගේ භූමිකාවට පණ පෙවීම ආරම්භ කළේය.

තවද, කොරෝනා වසංගතයත්, ආර්ථික අර්බුදයත් හමුවේ රට බංකොලොත් කළ පාලකයින් පලවා හැරීමේ අරගලයේ පෙරමුණේ සිටි සටන් සගයෙක් ලෙස කෝසල කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළේය. එකී පාලකයින් පලවා හැරීමෙන් පසු මෙරට පාලන බලය ලබා ගත් රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ පීඩාකාරී හා මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව ස්ථිර ලෙස මෙරට පාලන බලය ලබා ගැනීමට ජාතික ජන බලවේගය සංවිධානය කිරීමට කෝසල සහෝදරයා සිදු කළ මැදිහත්වීම ශක්තිමත්ය. ධෛර්ය සම්පන්නය. සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජිකයෙක් ලෙස තවදුරටත් තම කැපවීම කරන ලද්දේ ජාතික ජන බලවේගය මෙරට පාලන බලය ලබා ගැනීම සඳහා විශේෂයෙන් තරුණ තරුණියන් පෙළගස්වමිනි.

ඒ අනුව 2024 වසරේ ඉතිහාසයේ පළමු වතාවට මෙරට වැඩ කරන පන්තියේ සැබෑ ජනාධිපතිවරයෙක් බිහිකර ගනිමින් ආණ්ඩු බලයද දිනා දීමට කෝසල ජයවීර සහෝදරයා කෑගල්ල දිස්ත්‍රික්කය තුළ සුවිසල් කාර්යභාරයක් කළේය. ඒ සිහිනය යථාර්ථයක් කර ගැනීමට නම් අපගේ ඉලක්කය මේ රට පොහොසත් රටක් බවට පත් කිරීමත් ජනතාවට ලස්සන ජීවිත උදාකිරීමත් විය යුතුය. ඒ සඳහා කෑගලු දිස්ත්‍රික්කයේ වැඩිම දෙවැනි මනාප ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වී තම යුග මෙහෙවර දියත් කළේය. ජාතික ජන බලවේග ආණ්ඩුවට මාස පහක් පමණ ගතවන තෙක් හේ පාර්ලිමේන්තුවේ ද ඉන් පිටත ද තරුණ ආකර්ෂණීය දේශපාලනඥයෙක් ලෙස ඉටුකළ සේවය ප්‍රශස්තය. පාර්ලිමේන්තුව තුළ ස්වකීය තාරුණ්‍යයේ හඬ පෞරුෂය විදහා දක්වන ලද කෝසල එහි කාරක සභා කිහිපයක්ම නියෝජනය කළේය. විශේෂයෙන් කෝප් කමිටුවේ සාමාජිකයෙක් ලෙස පසුගිය පාලකයින් හා ඔවුන්ගේ සහචරයින් විසින් සිදුකළ දූෂණ, වංචා, අක්‍රමිකතා හෙළිදරව් කරමින් මෙරට ජනතාවට නිකැළැල් අදූෂිත රාජ්‍ය සේවයක් ලබාදීම වෙනුවෙන් කෙටි කලක් තුළ වුවද නගන ලද සේවාව විශිෂ්ටය.

ඔහු සිය ජීවන ගමන් මගේ තිස් අටවෙනි වසරට පැමිණ සිටි මේ අසහාය විප්ලවවාදී තරුණ දේශපාලනඥයා 2025 වසරේ මාර්තු 07 වැනි දින හදිසියේ ඇති වූ රෝගාබාධ තත්ත්වයක් හේතු කොට ගෙන මේ වන විටත් ස්වකීය ජීවිතයෙන් සමුගෙන ගොසිනි.

ඉදින් සටන් සගය, මේ රටේ පීඩිත කම්කරු ජනයාගේ විමුක්තිය උදා කිරීමේ මාවත හෙළිපෙහෙළි කර දී ඔබ නික්ම ගොසිනි. දිවා රෑ නොබලා, කෑමක් බීමක් නොතකා, ඔබ අවසන් හුස්ම හෙළන තෙක්ම වැඩ කළේ, කැප වුණේ, මෙරට දුක් විඳින මිනිසුන් වෙනුවෙනි; අසාධාරණයට ලක් වූ අසරණ අහිංසක ජනයා වෙනුවෙනි. සියලු පෞද්ගලික වේදනාවන් සිනාමුසු මුහුණින් දරාගෙන ඔබගේ මුළු ජීවිත කාලයම කැපවුණේ උසස් දේශපාලන අරමුණක් සාක්ෂාත් කරදීම උදෙසාය. ඒ හිඩැස, ඒ පාඩුව මැකිය හැකි වෙනත් විකල්ප නැති තරම්ය. එහෙත් ඔබ අප ප්‍රාර්ථනා කළ ඒ සොඳුරු ලෝකය ගොඩනැඟීමට ගිවිස ගනිමින් ඔබට සමුදෙන්නේ අපගේ විප්ලවීය ආචාරය ඔබ වෙත පුද කරමිනි. කෝසල නුවන් ජයවීර තරුණ විප්ලවවාදී දේශපාලන සගයාණනි ඔබට සුබ ගමන්!

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT