මෙරට පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු සඳහා පසුගිය කාලයේදී ඇතැම් දේශපාලනඥයන්ගේ දායකත්වය ලැබී තිබෙන බව රහසක් නොවන බවත්, මහජනතාවට බියෙන් සහ සැකයෙන් තොරව ජීවත් වීමට අවශ්‍ය පසුබිම කඩිනමින් සකස් කරන බවත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා පවසයි.
ඇමැතිවරයා මේ බව පැවසුවේ පසුගියදා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැක ආශීර්වාද ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“නීත්‍යානුකූල නොවන ලෙස හමුදා සේවය හැරගිය 1700 දෙනකු පමණ මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ පිරිස අතර පාතාලය හා සම්බන්ධතා පවත්වමින් නොයෙක් නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ අයත් සිටිනවා. පුහුණුව ලැබ විසිරිගිය විශේෂ කාර්ය බළකා සෙබළුන් 500 දෙනකු පාතාලය මැඬලීමට යොදවනවා.
මෙරට පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු සඳහා පසුගිය කාලයේදී ඇතැම් දේශපාලනඥයන්ගේ දායකත්වය ලැබී තිබෙන බව රහසක් නොවේ. යම් යම් දේශපාලන කණ්ඩායම් බලයට පැමිණීමට ද මේ ජාලය යොදාගෙන තිබෙනවා. දේශපාලන සහසම්බන්ධකම් මත ගොඩනැඟුණු මේ ක්‍රියාකාරකම් මාස හතරක්, පහක් වැනි කෙටි කාලයකදී සම්පූර්ණයෙන් පාලනය කළ නොහැකියි. ඒත් මහජනතාවට බියෙන් සහ සැකයෙන් තොරව ජීවත් වීමට අවශ්‍ය පසුබිම අපි කඩිනමින් සකස් කරනවා.
පාතාල ක්‍රියාකාරකම් හා තැන තැන සිදු වන වෙඩි තැබීම් දීර්ඝ කාලයක් පුරා මේ රටේ සිදු වුණා. අපි ඒ සිදුවීම් ලඝුකොට සලකන්නේ නෑ. පාතාලය හා මත්ද්‍රව්‍ය පාලනය කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ ගැන දැඩි අවධානය යොමු කරනවා. ඒ සඳහා සැලසුමක් සකස් කර තිබෙනවා. විදේශ රටවල සැඟවී සිටි පාතාල ක්‍රියාකාරීන් කිහිපදෙනකුම ජාත්‍යන්තර පොලීසියේ සහාය ඇතිව යළි මෙරටට ගෙන්වා ගත්තා. මීට අමතරව අපට අවශ්‍යව සිටින පුද්ගලයන් කිහිප දෙනකුටම එරෙහිව රතු වරෙන්තු නිකුත් කර තිබෙනවා.”

ඇමැති ආනන්ද විජේපාල මහතා මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ
සුමංගල මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ
ශ්‍රී ඤාණරතන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබා ගත් අයුරු.