ශ්‍රී ලංකාවේ පැවැත්වූ අලුත්ම ජන හා නිවාස සංගණන වාර්තාව අනුව සමස්ත ජනගහනය 21,763,170කි. ඒ අතරින් වැඩිම ජනගහනය ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද අඩුම ජනගහනය මුලතිව් දිස්ත්‍රික්කයෙන් ද වාර්තා විය. මෙකී ජන හා නිවාස සංගණන වාර්තාවේ දත්ත රටේ සංවර්ධනය සඳහා ඉතා පැහැදිලි පුරෝකථනයකි.
අනාගත සංවර්ධන සැලසුම් සහ අවශ්‍යතා සැලසුම් කිරීමේදී ද, සංවර්ධන උපායමාර්ග හඳුනා ගැනීමේදී ද, සංවර්ධන ප්‍රමුඛතා සකස් කිරීමේදී ද මෙකී සංගණන දත්තවලින් ලැබෙන්නේ මහඟු පිටුබලයකි.
පසුගියදා පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ 15 වැනි ජන හා නිවාස සංගණනයයි. 2023 ඔක්තෝබර් මාසයේ සිට 2024 ජනවාරි මාසය දක්වා මෙකී සංවර්ධන දත්ත ගණනය කිරීම සිදු කොට තිබිණි. වසර 150කට අධික සංගණන ඉතිහාසයේ තොරතුරු පරිගණක තාක්ෂණයෙන් එක්රැස් කිරීම සිදු වූයේ ද මෙවර ය. එය මෙරට පරිපාලන ක්‍රියාවලියේ කටයුතු සහ ප්‍රතිපත්ති සම්පාදනයට සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කටයුතු සඳහා යාවත්කාලීන වූ දත්ත රැස්කිරීමේ නිශ්චිත ක්‍රමවේදයක් ලෙස සැලකිය හැකි ය.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සෑම වසර 10කට වරක්ම පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනය රටේ ප්‍රධානතම ජන විකාශ තක්සේරුවයි. මේ පුළුල් ජාතික කර්තව්‍යයේ අරමුණ රටේ ජීවත් වන ජන සංඛ්‍යාව හෝ සංයුතිය පිළිබඳ සංඛ්‍යාලේඛන සැපයීම හා එමඟින් රටේ සමාජ ආර්ථික ලක්‍ෂණ, අධ්‍යාපන මට්ටම්, සෞඛ්‍ය තත්ත්වය හා ජීවන තත්ත්වය ඇතුළු ජනගහනය සහ නිවාස පිළිබඳ තොරතුරු ඒකරාශිකරණයයි.
මෙකී ජන හා නිවාස සංගණන වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ මුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 340කි; ග්‍රාම නිලධාරි කොට්ඨාස ගණන 14,008කි; මහ නගර සභා 29ක් ද නගර සභා 36ක් ද ප්‍රාදේශීය සභා 276ක් ද මෙකී පරිපාලන ව්‍යුහයට අන්තර්ගත ය. එනම්: රාජ්‍යයක නිල පණිවිඩ සමාජගත වීමට නිල පරිපාලන ආයතනික ව්‍යුහයක් සමාජගත වී තිබේ. 2024 ජන හා නිවාස සංගණන ලැයිස්තුගත කිරීම අනුව 1981 සිට මේ දක්වා ගෙවුණු වසර 41ක කාලසීමාව ඇතුළත මෙරට නිවාස සංඛ්‍යාව 144.7%කින් වැඩි වී ඇත.
පොදුවේ ගත් කල සංගණනයක් යනු යම් ජනගහනයකට අයත් සියලු සාමාජිකයන් පිළිබඳ තොරතුරු ක්‍රමවත් ලෙස රැස් කර, ලේඛනගත කර, විශ්ලේෂණය කර වාර්තා කිරීමේ ක්‍රියාවලියයි. එය පොදු පිළිගැනීමට ලක් වූ දත්ත ඒකරාශීකරණ ක්‍රමවේදයකි. ජනසමාජයක ජීවත් වන සියලු පුද්ගලයන් පිළිබඳ සමාජ – ආර්ථික තොරතුරු, ස්ත්‍රී – පුරුෂ බව, වයස, අධ්‍යාපන මට්ටම, ආර්ථික මට්ටම යනාදී සියලු දත්ත මෙහිදී ඒකරාශීකරණය කෙරේ. ඊට පෙර සිදු කර ඇති ආසන්නතම සංගණනය සමඟ සංසන්දනාත්මක අදහසක් ගෙන, සංවර්ධන සැලසුම් සකස් කිරීම මෙහිදී සිදු කෙරෙනු ඇත.
සංගණන ආඥා පනත යටතේ එක්රැස් කරගන්නා තොරතුරුවල පූර්ණ රහස්‍යභාවය සුරක්ෂිත වන අතර, එය රටක අනාගත සංවර්ධනය සඳහා වන වැදගත් දත්ත පද්ධතියක් ද වන්නේ ය.
සංගණනයෙන් පසු වැදගත් වන්නේ ඒ දත්ත පුරෝකථනය කිරීමේ ක්‍රියාවලියයි. ජන ලේඛන පිළිබඳ විශේෂඥයෝ, සංඛ්‍යානය පිළිබඳ විශේෂඥයෝ සහ ප්‍රතිපත්ති සම්පාදකයෝ එහි ප්‍රමුඛතම කාර්යය ඉටු කළ යුත්තෝ ය. වඩා වැදගත් වන්නේ මේ සංගණන දත්ත රටේ සංවර්ධන අවශ්‍යතා සමඟ ගළපා ගැනීමේ ක්‍රමවේදයයි. එසේ නොවුවහොත් මෙය තවත් එක් සංගණනයක් පමණක් වනු ඇත.
ජන හා නිවාස සංගණනයෙන් සමාජගත වූ දත්ත පද්ධතිය මැනවින් විශ්ලේෂණය කර, ඉදිරි සංවර්ධන සැලසුම් සකස් කරනු ඇතැයි යන්න අපගේ අපේක්ෂාවයි. එය රටේ ජනතා අවශ්‍යතා සහ සංවර්ධන අවශ්‍යතා සමඟ ගැළපෙන ක්‍රියාවලියක් වනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වන්නෙමු.