– අපේ රටේ ආර්ථිකය පිළිබඳ අද ලෝකයේ සියලු දෙනාගේ විශ්වාසය තහවුරු වෙලා
– සෑම පුරවැසියකුම රැක බලාගැනීමේ වගකීම ඉටුකරමින් සිටිනවා
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වල සැඟවූ කිසිවක් නොමැති බවත් භූ දේශපාලනයේ අහිතකර තත්ත්වයක් නිර්මාණය වුවත් ඊට මුහුණ දීමට සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ පෙරේදා (07) ගාල්ලේ පැවැති ‘ජය නියතයි- ගම අපටයි’ ජයග්‍රාහී ජන රැලියට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා –
“ සැප්තැම්බර් 21 දින අපේ රටේ එතෙක් තිබූ දේශපාලන ගමන්මඟ වෙනස් කරමින් ජනතාව සුවිශේෂී දේශපාලන තීන්දුවක් ගනු ලැබුවා. එය පැරණි අසාර්ථක දේශපාලන කඳවුරු පරාජයට පත්කර පොදු ජනතාව අතට බලය මාරු කරන තීන්දුවක්. ඉන්පසුව එම ජයග්‍රහණය තවදුරටත් ශක්තිමත් කරමින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී අපිට තවත් සුවිශේෂී ජයග්‍රහණයක් ජනතාව ලබාදුන්නා.
ඒ වගේම මැයි මාසයේ 6 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත් වෙනවා. මෙම මැතිවරණය පැවැත් වීමට යෙදී තිබුණේ 2023 මාර්තු මාසයේ දී. නමුත් පැවති රජය මෙම මැතිවරණය කල් දැමුවා. එදා මැතිවරණය කල් දමන විට අපි ජනතාවට ප්‍රකාශ කළා පුංචි ඡන්දය කල් දැමුවට ලොකුම ඡන්දයෙන් අපි ජයග්‍රහණය කරනවා කියලා. එය සත්‍යයක් කරමින් අපි මෙරට දේශපාලනය මුළුමනින්ම හැරවුමකට ලක්කළා.
ඉන්පසුව මෙම පළාත් පාලන මැතිවරණය පැවැත් වීම සඳහා යම් කරුණු කිහිපයක් සම්පූර්ණ කිරීමට සිදුව තිබුණා. මීට පෙර ලබාගත් නාම යෝජනාපත්‍ර අවලංගු කිරීම, පසුව සම්මත කරගෙන තිබූ තරුණ නියෝජනය ඇති කිරීමට පාර්ලිමේන්තුවේ අලුතින් පනතක් සම්මත කර ගැනීම කළ යුතුව තිබුණා.
මැතිවරණය ඉක්මණින් පැවැත්වීම සඳහා අපේ ආණ්ඩුවේ පළමු සංශෝධන පනත ලෙස පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත සම්මත කළා. ඉන්පසුව මැතිවරණය පැවැත්වීමේ බලය මැතිවරණ කොමිසමට පැවරෙනවා. එම පනත සම්මත කළ දිනයේ සිට ගත් විට අප්‍රේල් 6, 7 වන විට මැතිවරණ පැවැත් වීමට හැකියාව තිබුණා.
අපට අවශ්‍ය කර තිබුණේත් අලුත් අවුරුද්දට පෙර මැතිවරණය පැවැත් වීමටයි. නමුත් විපක්ෂය මැතිවරණ කොමිසමට දැනුම් දුන්නා මැතිවරණය කල්දාන්න කියලා. ඒ අනුව මැතිවරණය මැයි 6 දිනට කල් ගියා.
නමුත් අප පනත සම්මත කරදුන් අන්දමට මැතිවරණ කොමිසම කටයුතු කළා නම් අද වන විට පළාත් පාලන මැතිවරණය පවත්වා අවසන්.
අපට අවශ්‍ය තවදුරටත් මැතිවරණ පවත්වමින් සිටීමට නොවෙයි. අපි විශාල මුදලක් දිස්ත්‍රික් මට්ටමින් ලබා දී තිබෙනවා. අපි දෙසැම්බර් 31 වැනි දිනට පෙර එම මුදල්වලින් වැඩ කළ යුතුයි. දැන් මැයි 6 වැනි දින දක්වා එම කටයුතු ප්‍රමාද කිරීමට සිදුව තිබෙනවා. නමුත් විපක්ෂය මතක තබාගත යුතුයි මැතිවරණය කල් යෑමත් සමඟ ඔවුන්ට දේශපාලන වශයෙන් අසීරු තත්ත්වයකට මුහුණ දීමට සිදු වන බව.
ලංකා ඉතිහාසයේ දේශපාලනයේ මෙම මැතිවරණයේදී තරම් පැහැදිලි බෙදීමක් කිසි දිනක සිදුව නැහැ. අද රටේ දේශපාලනය ඉතාමත් තීව්‍ර ලෙස කඳවුරු දෙකකට බෙදී තිබෙනවා. එම කඳවුරු දෙක වන්නේ ජාතික ජන බලවේගය නියෝජනය කරන අපේ ආණ්ඩුව සහ තැන තැන එකතු වී තිබෙන සුන්බුන් ගොඩක්. ඔවුන්ගේ මැතිවරණ වේදිකාව, පාර්ලිමේන්තු ආමන්ත්‍රණය, පාර්ලිමේන්තුවෙන් පිට කියන කතා දෙස බැලූ විට සියලු දෙනාගේම ප්‍රතිවිරෝධය ජාතික ජන බලවේගයට එරෙහි බව තේරෙනවා.
දැන් ජනතාව කළ යුත්තේ සැප්තැම්බර් 21 වැනිදා අත්පත් කරගත් ජයග්‍රහණය ඉදිරියට ගෙන යෑම සඳහා තමන් නියෝජනය කරන දේශපාලන කඳවුර ජයග්‍රහණය කරනවා ද, එසේ නොමැතිව එම ගමන ආපසු හැරවීම සඳහා එකතු වී තිබෙන සුන්බුන් ගොඩ ඉදිරියට ගෙන යනවා ද යන්නයි.
පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී මේ රටේ ජනතාව ඉතාමත් තීරණාත්මක ලෙස පැරණි අසාර්ථක දේශපාලන කඳවුරු පරාජයට පත් කළා. එම පරාජයට පත්කර අත්පත් කරගත් ජයග්‍රහණය ඉදිරියට ගෙන යනවාද කියා ජනතාව දැන් තීරණය කළ යුතුයි.
අපේ රටේ ජනතාව රට වෙනුවෙන් ඉදිරියට තැබූ පියවර අඟලකින්වත් පසුපසට නොතබා එය ඉදිරියට ගෙන යන බවට මා තුළ විශාල විශ්වාසයක් තිබෙනවා.
මේ රටේ නීතියේ ආධිපත්‍ය නිසි ලෙස තහවුරු කිරීමට අපට අවශ්‍යයි. දැන් එවන් රටක් නිර්මාණය වෙමින් තිබෙනවා. මීට පෙර අපේ රටේ නීතිය ක්‍රියාත්මක වුණේ දුබල පිරිසට පමණයි.
නීතිය මකුළු දැලක් වගේ තිබුණා. ලොකු අය කඩාගෙන යනවා පොඩි අය අහු වෙනවා. ඒ නිසා දුබල අයට එක නීතියක් සහ බලය තිබෙන එයට එක නීතියක් කියන එක අපි අද වෙනස් කර තිබෙනවා.
ලංකා ඉතිහාසයේ කිසිදිනක පොලිස්පතිවරයකුට සැඟ වී සිටීමට සිදු වුණේ නැහැ. මෙය පළි ගැනීමක් නොවයි. අපි එම ආයතනවලට ස්වාධීනත්වය ලබා දී තිබෙනවා. නීතිය නිසි ලෙස ඉටු වෙනවා ද නැද්ද යන්න පමණක් අපි පරික්ෂා කරනවා. නමුත් මීට පෙර ආණ්ඩු මැදිහත් වුණේ බලය තිබෙන අය ආරක්ෂා කිරීමටයි.
අපරාධ සහ වංචා දූෂණ සිදු කළ අයෙක් වේ නම්, තරාතිරම නොබලා නීතිය ඉටු වන රාජ්‍යයක් අපි පළමු වතාවට නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා මේ රටේ ජනතාවට යහපතක් වන, මේ රටේ දුවා දරුවන්ට අනාගතයේ විශ්වාසදායක රටක් ගොඩනඟන කණ්ඩායම ජාතික ජන බලවේගයේ කණ්ඩායම බව සිහිපත් කළ යුතුයි.
එපමණක් නොවෙයි අපි අපේ රටේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇතිකර තිබෙනවා. මහජනයාගේ මුදල් සතයක් සොරකම් නොකරන සහ නාස්ති නොකරන පාලනයක් අද ලංකාවේ පළමු වතාවට ගොඩනැඟී තිබෙනවා.
මේ රටේ ජනතාවගේ මුදල් සොරකම් නොකරන, නාස්ති නොකරන පාලනයක් අපට අවශ්‍යයි.
අපි රට භාර ගන්නා විට ආර්ථිකය ඉතාමත් අසීරු තැනක පැවතුණා. නමුත් අපේ රටේ ආර්ථිකය ක්‍රමානුකූලව ස්ථාවර මට්ටමකට ගෙන ඒමට අපි සමත් වුණා.
රට තුළ ආර්ථික ස්ථාවරභාවය ඇති නොකර අපිට කිසිවක් කරන්න බැහැ. ඒ නිසා අපේ පළමු ප්‍රයත්නය වුණේ ආර්ථිකය ස්ථාවරභාවය ඇති කිරීමයි.
අද රට තුළ ඇති වී තිබෙන ආර්ථික ස්ථාවරත්වයේ සංඥා බොහෝමයක් තිබෙනවා. අපි පසුගිය දෙසැම්බර් 21 වැනි දින ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන මුළුමනින්ම අවසන් කළා. ඒ සමඟම නිල වශයෙන් අපේ රට බංකොලොත්භාවයෙන් නිදහස් වුණා. ඒ සමඟම අතරමඟ නැවතී තිබූ විදෙස් ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට හැකියාව ලැබුණා.
ඒ වගේම ඩොලරයේ අගය රුපියල් 300ට ආසන්න අගයක පවත්වා ගැනීමට අපේ ආණ්ඩුව සමත් වුණා. 35% – 40% ගිය බැංකු පොලී අනුපාතය අද 10%න් පහළ තනි ඉලක්කමක රඳවා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ අනුව අඩු පොලී අනුපාතයක් යටතේ කර්මාන්තකරුවන්ට, ව්‍යාපාරිකයන්ට ණය ලබා ගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා.
එදා රටේ උද්ධමනය 70% -75%ට ඉහළ ගියා. අද අපි එය අවම අගයක පවත්වාගෙන යෑමට සමත් වී තිබෙනවා. අද ආයෝජකයන් ආයෝජනය කිරීමට බය නැහැ.
සංචාරක කර්මාන්තය තුළ විශාල පිම්මක් ගෙන තිබෙනවා. මේ අනුව අපේ රටේ ආර්ථිකය පිළිබඳ අද ලෝකයේ සියලු දෙනාගේ විශ්වාසය තහවුරු වී තිබෙනවා. මෙහි ප්‍රතිලාභ ජනතාවට ද ලැබිය යුතුයි.
ඒ වෙනුවෙන් අස්වැසුම ප්‍රතිලාභ වැඩි කිරීම, විශ්‍රාම දීමනාව වැඩි කිරීම, මෑත ඉතිහාසයේ සිදුවූ වැඩිම පඩි වැඩි වීමකින් රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප වැඩි කිරීම ඇතුළු සාධනීය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වීමට රුපියල් කෝටි 33,000ක් වැය කරනවා. මෙම මුදල් යොදවන්නේ කොහොමද කියලා ඇතැමුන් අපෙන් ප්‍රශ්න කරනවා.
අපි මේ කටයුතු කරන්නේ මහජනයාගේ හැම සතයක්ම පරිස්සම් කර, යෙදවිය යුතු තැනට නිසි පරිදි යෙදවීමේ ප්‍රතිපත්තිය තුළයි.
අපි අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් ලක්ෂ 16කට පාසල් පොත් සහ උපකරණ ලබාගැනීම සඳහා රුපියල් 6,000ක දීමනාවක් ලංකාවේ පළමු වතාවට ලබා දුන්නා. ඒ වගේම මහපොළ ශිෂ්‍යාධාරය වැඩිකර තිබෙනවා.
පාසල් දරුවන්ට දිවා ආහාර සඳහා ලබාදුන් මුදල වැඩි කළා. මේ අනුව සෑම පුරවැසියකුම රැක බලා ගැනීමේ වගකීම අපි ඉටු කරමින් සිටිනවා.
විශාල ආර්ථික පරිවර්තනයකින් නොව කුඩා හැරවුමකින් අපි ලබා ගන්නා මුදල් ප්‍රමාණය අපි ක්‍රමානුකූලව ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් වැය කිරීමට පටන් ගෙන තිබෙනවා. අපි එතනින් නතර වී නැහැ. මේ වසරේ අපි මිලියන 1400ක් ප්‍රාග්ධන වියදම්වලට වෙන්කර තිබෙනවා.
පාරවල්, බෝක්කු, ඇළවේලි හදන්න මේ මුදල් වැය කරනවා. ලංකා ඉතිහාසයේ සංවර්ධන කටයුතු සඳහා වැඩියෙන්ම වියදම් කරන ලද ප්‍රාග්ධන මුදල අපි මෙවර අය-වැයෙන් වෙන් කර තිබෙනවා. දෙසැම්බර් 31 වැනි දිනට පෙර මෙම මුදල් වියදම් කර අවසන් කළ යුතුයි.
එසේ නම් නැවත මේ රට වැඩ බිමක් බවට පරිවර්තනය කළ යුතුයි. මේ මිලියන 1400ක් නැවත අපේ රටේ ආර්ථිකයට එක්වුවහොත් අපට එයින්ම 3% – 4% ආර්ථික වර්ධන වේගයක් අත්කරගත හැකියි.
ඒ වගේම මේ වනවිට භූ දේශපාලනයේ අහිතකර තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. අපේ අපනයනවලට යම් බලපෑමක් වන ආකාරයේ තීන්දු තීරණවලට එළැඹ තිබෙනවා. අපි එය විසඳා ගැනීමට උපරිම උත්සාහයෙන් යුතුව සාකච්ඡා කරමින් තිබෙනවා.
එය විසඳා ගැනීමට ප්‍රයත්න දරන අතරම එවැනි අභියෝගයකට මුහුණ දෙන්නේ කෙසේද කියා අපි සැලසුම් සකස්කර තිබෙනවා.
එය අප අපේක්ෂා නොකරන ලද තත්ත්වයක් වුවද එයට මුහුණ දීමට සිදුව තිබෙනවා. නමුත් අපේ ආර්ථිකය ඉතා හොඳ ඉදිරි ගමනක් පෙන්නුම් කරමින් තිබෙනවා. ඒ අනුව මේ 2025 වසර ශ්‍රී ලංකාවේ බොහෝ ක්ෂේත්‍රයන්හි වැඩිම වර්ධන අගයන් වාර්තා වන වසර බවට පත් වෙනවා.
එහි පළමු වැන්න ලෙස ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පැමිණෙන වසර බවට මේ 2025 වසර පත් වෙනවා. ඒ වගේම ලංකාවේ වැඩිම ප්‍රාග්ධන වියදම් සිදු කරන ලද වසර බවට 2025 වසර පත් වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ආණ්ඩුවක් උපයා ගන්නා ලද වැඩිම ආදායම් උපයා ගන්නා වසර බවට 2025 වසර පත් වෙනවා.
ජාත්‍යන්තරයේ මතුව ඇති එම තත්ත්වය ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයේ හෝ තීන්දු තීරණවල ප්‍රශ්නයක් නොවෙයි. මෙහි මතුව තිබෙන්නේ භූ දේශපාලන ප්‍රශ්නයක්. එම ප්‍රශ්යට අපි මුහුණදිය යුතු වන්නේ පක්ෂයක් ලෙස නොව ජාතියක් ලෙසයි. ඒ නිසා අපි මේ රටේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙවැනි ප්‍රශ්නයක් ඇති වීම වළක්වා ගැනීම සඳහා උපරිමයෙන් මැදිහත් වන අතරම එවැනි ප්‍රශ්නයකට මුහුණදීම සඳහා අපි ජාතියක් ලෙස සූදානම් විය යුතුව තිබෙනවා කියලා.
ඕනෑම රටකට තමන්ගේ රටේ තීරු බදු පිළිබඳ තීරණයක් ගැනීමේ අයිතිය තිබෙනවා. අපිට එම අයිතිය බැහැර කරන්න බැහැ. මෙය කිසිසේත් අපිව ඉලක්ක කළ හෝ අපිව හඹාගෙන ආ දඩයමක් නොවෙයි. පොදුවේ ඇති වූ කරුණක්. එහි යම් අහිතකර තත්ත්වයක් ඇතිවීමේ අනතුරක් අබියස අපි සිටිනවා.
මම අද උදෑසනත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපට මේ වසරේ සපුරාගත යුතු ඉලක්ක ලබා දී තිබෙනවා. මතුවී තිබෙන නව තත්ත්වයට අනුරූප වන පරිදි නව මානයන් පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වනු ඇති බවට එහිදී අපේ අවධානය යොමු වුණා. මෙම කටයුතු වෙනුවෙන් අපි උපරිම සහාය ලබා ගන්නවා.
පසුගියදා සිදුවූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේදී අපි ආර්ථික වශයෙන් විශාල ජයග්‍රහණ අත්පත්කර ගැනීමට ප්‍රයත්නයක් දැරුවා. කෝටි දාහකට ආසන්න ප්‍රදානයක් මේ වසරේ අපේ රටට ලබාදීමට එකඟතාව පළ කළා. ඒ වගේම සාම්පූර්වල මෙගා වොට් 120ක විදුලි බලාගාරයක් ආරම්භ කිරීම සිදු කෙරුණා.
ඉන්දියාව ඩිජිටල්කරණයේ ඉතා ඉහළ පිම්මක් ලබාගත් රටක්. ඩිජිටල්කරණයේ දී අපට සහාය ලබාදීමටත්, නැඟෙනහිර පළාතේ ක්ෂේත්‍ර ගණනාවකට ආධාර සැපයීමට මෙන්ම ඖෂධ නිෂ්පාදනයේ දී සහාය ලබාදීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එකඟතාවට පැමිණියා.
පසුගිය 76 වසර තුළ අපේ රට තාක්ෂණික දියුණුවේ හිණිපෙත්තට ගෙන ඒමට මේ රටේ පාලකයන් කටයුතු කළා නම්, අපට එසේ නොකර සිටීමට තිබුණා. නමුත් ලෝකය තාක්ෂණය සමඟ ඉදිරියට යන විට අපි කිසිවක් උකහා නොගත් ජාතියක් බවට පත් වුණා.
එසේ නම් අප කළ යුත්තේ එම දියුණුව ලබාගත් රාජ්‍යයන්හි සහාය ලබා ගැනීමයි. අපව කිසිවකුට මිලදී ගන්න බැහැ. අප මේ සියලු දේ කරන්නේ මේ රටේ ජනතාවට මීට වඩා හොඳ ජීවිතයක් සහ රටට මීට වඩා හොඳ අභිමානයක් නිර්මාණය කිරීමේ අරමුණින් බව කිව යුතුයි.