නීතිය, විධානය හා ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසියට සුබවාදී පරිවර්තනයක් අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ, කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකා පුහුණු කඳවුරේ පෙරේදා (07) පැවති 82 වැනි මූලික පුහුණු පාඨමාලාව හැදෑරූ ආධුනික උප පොලිස් පරීක්ෂකවරු සහ කොස්තාපල්වරු විසිර යෑමේ උත්සවයට එක් වෙමිනි. නීතියේ විධානයේ ආධිපත්‍යය සුරැකීම පිළිබඳව මෙරට පුරවැසියන්, ශ්‍රී ලංකා පොලීසිය කෙරෙහි විශ්වාසය තබා ඇති බවත් එය සුරැකීම පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීමක් බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
තම වෘත්තියට කොතරම් සාධාරණයක් ඉටු කරනවා ද, ගෞරව කරනවා ද යන්න කෙනකුගේ වෘත්තීය ජීවිතය තුළින් නිරූපණය වන බවත්, එම වෘත්තීයභාවය සාක්ෂාත් කරගැනීමෙන් මෙරටට අවශ්‍ය පරිවර්තනීය වෙනස ඇති කිරීමට දායක වන ලෙසත් ජනාධිපතිවරයා එහිදී ආධුනික පොලිස් නිලධාරින්ට ඇරයුම් කළේය. බොහෝ ක්ෂේත්‍ර බිඳවැටුණු මොහොතක රට පරිවර්තනීය යුගයකට ගෙන යෑමට පුරවැසියා දේශපාලන අධිකාරිය වෙනස් කිරීමට කටයුතු කළ බව පෙන්වාදුන් ජනාධිපතිවරයා දේශපාලන අධිකාරිය පරිවර්තනය කළ පමණින් රටක් සාර්ථක නොවන බවත් සියලු ක්ෂේත්‍රවලම සුබවාදී පරිවර්තනයක අවශ්‍යතාවත් මෙහිදී පෙන්වා දුන්නේය.
මහජන අපේක්ෂාවේ භාරය, නවක පොලිස් නිලධාරින්ට පැවරෙන බව ද එය ආරක්ෂා කරමින් සංවිධානාත්මක අපරාධවලට, මත්ද්‍රව්‍යවලට මේ රට ගොදුරක් වීමට ඉඩ නොතබන ලෙස ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
තරුණ පරම්පරාව, මාතෘභූමියේ වගකීම සිය දෙවුර මත දරා තමාගේ අනාගතයත් රටේ අනාගතයත් සුබවාදී දිශානතියකට ගෙන යෑමට උත්සුක විය යුතු බව ද, මෙලෙස, අද දින ශ්‍රී ලංකා පොලිස් නිත්‍ය සේවයට එක්වීම ශක්තිමත් පියවරක් ලෙස සියල්ලෝම සිහි තබාගත යුතු බවත් පෙන්වා දුන්නේ ය.
හදිසි ආපදා තත්ත්වයක් යටතේ පුරවැසියන් වෙනුවෙන් විශේෂ කාර්ය බළකාය සිදුකර තිබෙන සේවය ඉතා ප්‍රශංසනීය බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
මූලික පුහුණුව සාර්ථකව නිම කරන ලද ආධුනික උප පොලිස් පරීක්ෂකවරු 118ක් ආධුනික පොලිස් කොස්තාපල් 231ක් මෙම පෙළපාළියේදී විසිර ගියහ.
පුහුණු පාඨමාලාවේ දී විශේෂ දක්ෂතා දක්වන ලද නිලධාරින්ට සහතිකපත්‍ර සහ සම්මාන පිරිනැමීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු කෙරිණි.
විසිර යෑමේ උලෙළට එක්වූ ජනාධිපති අනුර කුමර දිසානායක මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.
විශේෂ බළකායේ නිලධාරින් විසින් සංග්‍රාමික භූමියේ සිදු කරන මෙහෙයුම් සංදර්ශනයක් ද ඉදිරිපත් කෙරිණි.
“නියතයි ජය” යන්න සිය තේමා පාඨය කරගනිමින් 1983 වර්ෂයේ ආරම්භ කරන ලද ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකාය වර්තමානයේ ප්‍රභූ ආරක්ෂාව, අපරාධ, සංවිධානාත්මක අපරාධ මැඬලීම සහ මතින් තොර රටක් නිර්මාණය කිරීම සඳහා මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කිරීමට යොදවා සිටින කීර්තිමත් ඒකකයකි. මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස, මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල මහත්වරු මේ අවස්ථාවට එක්වූහ.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහත්වරු ද, පොලිස් නිලධාරිහු ද, විසිර යන පොලිස් නිලධාරින්ගේ මවුපියන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.