අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගෝලීය බදු ප්‍රතිපත්තියෙන් ආර්ථික බලපෑම් එල්ල වීමේ අවදානමකට මුහුණ පා සිටින රටවල් 70කට අධික ප්‍රමාණයක් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට ධවල මන්දිරයෙන් ඉල්ලීම් කර ඇතැයි එරට භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසෙන්ට් ප්‍රකාශ කර තිබේ. අමෙරිකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ උන්නතියට හා දේශීය වෙළෙඳපොළ ඉහළ නැංවීමට බව කියමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය 2 වැනිදා නිකුත් කරනු ලැබූ ආනයනික භාණ්ඩ සඳහා වන තීරුබදු ලැයිස්තුවෙන් දැඩි ආර්ථික දුෂ්කරතාවට පත්වූ රටවල් විසින් කරනු ලැබු එම ඉල්ලීම් සම්බන්ධව සාකච්ඡා මාස කිහිපයක් පුරා සිදුවනු ඇතැයි භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තීරු බදු ලැයිස්තුව ප්‍රකාශයට පත් වීමෙන් පසු පළමුවරට අමෙරිකාවේ සංචාරය කළ රාජ්‍ය නායකයා වන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පෙරේදා ධවල මන්දිරයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ තීරුබදු සම්බන්ධව සාකච්ඡා කළ බවත්, ඊයේ ජපාන අගමැති ෂිගේරු ඉෂිබා දුරකතනය ඔස්සේ අමෙරිකානු ජනාධිපතිවරයා සමඟ මේ පිළිබඳ සාකච්ඡාවක නිරත වූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.