Home » පරගම්මන වී ගබඩා තුනක් විනාශයි

පරගම්මන වී ගබඩා තුනක් විනාශයි

පැමිණිලි කළත් බලධාරීන් නිහඬයි

by mahesh
April 9, 2025 4:00 pm 0 comment

අතහැර දමා ඇති ගබඩා සංකීර්ණය ඈතට දිස්වෙන අයුරු.

කෑගල්ල පරගම්මන මංසන්ධියේ පිහිටි ගබඩා සංකීර්ණයේ විශාල ගබඩා ගොඩනැඟිලි තුනක් කාලයක සිට අතහැර දමා ඇති බවත් එම ගබඩා ගොඩනැඟිලි තුන කාලයක සිට විනාශ වෙමින් පවතින බවත් එය කුමන හෝ කටයුත්තක් සඳහා යොදා ගන්නැයි ප්‍රදේශයේ ජනයා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටිති.

කෑගල්ලට අමිල සේවාවක් සිදු කළ හිටපු අමාත්‍යවරයකු වන අභාවප්‍රාප්ත පී.බී.ජී. කළුගල්ල මහතා විසින් 1960 වර්ෂයේ කෑගල්ල දිස්ත්‍රික්කයට පාන් පිටි බෙදා හැරීමේ ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෑගල්ල – බුලත්කොහුපිටිය මාර්ගයේ පරගම්මන ග්‍රාම නිලධාරි වසමේ පරගම්මන මංසන්ධියේ විශාල ගොඩනැඟිලි තුනක් ඉදි කරන ලදි. මෙම ගොඩනැඟිලි තුන පසුව ආහාර දෙපාර්තමේන්තුවට පැවරිණ. සීමාසහිත සමුපකාර දෙපාර්තමේන්තුවට අයත් ලොරි රථවලින් හා කුලී පදනම මත ගත් පෞද්ගලික ලොරි රථ මගින් ත්‍රිකුණාමලයේ චීන වරායේ සිට පාන් පිටි, කෑගල්ල පරගම්මන පිහිටි ගබඩා සංකීර්ණයට පළමුව ප්‍රවාහනය කර තිබේ. පසුව සමුපකාර ලොරි රථ මඟින් කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ම ආවරණය වන පරිදි සමුපකාර වෙළෙඳසල්වලට හා ලියාපදිංචි කර තිබුණු වෙළෙඳසල්වලට බෙදාදීම සිදු කර තිබේ.

විවෘත ආර්ථිකය පැමිණිමත් සමග සමුපකාර වෙළෙඳාම අභාවයට යාමත් සමඟ පරගම්මන පාන් පිටි තොග ගබඩාව 1992 වර්ෂයේ දී පමණ සම්පූර්ණයෙන්ම වැසීයාමකට ලක්ව ඇති බව ප්‍රදේශවාසීහු පැවසූහ. පසුව කුලී පදනම මත පෞද්ගලික විවිධ කර්මාන්ත ශාලා කිහිපයක් පුද්ගලයන් විසින් ආරම්භ කර තිබුණු අතර අධික කුලී අය කිරීම හේතුවෙන් එම කර්මාන්ත ද වැසීයාමකට ලක්ව තිබේ.

වසර 25කට පමණ වැඩි කාලයක සිට වැසීයාමකට ලක්ව ඇති පරගම්මන පිටිගබඩා සංකීර්ණ ගොඩනැඟිලි ශක්තිමත්ව පවතියි. සෙවිලි තහඩු කිහිපයක් පමණක් කැඩි බිඳී ගොස් තිබේ. වැසිකිළි විනාශ වී ගොසිනි. සවස් කාලයට මත්පැන්, මත්ද්‍රව්‍ය පානය කරන්නන්ගේ තෝතැන්නක් බවට මෙය පත්ව තිබේ. අපචාර පවා සිදු වන බව ප්‍රදේශවාසීහු පැවසූහ. හරක් ලැග අපවිත්‍ර කර ඇති අයුරු ද දක්නට තිබේ. ගොඩනැඟිලි තුන ආසන්නයේ විශාල ගස් වැවී ඇති අතර ඉදිරියේදී ගොඩනැඟිලිවලට හානි විය හැකි බව ද ජනයා කීහ. මාර්ග, ජලය, විදුලිය වැනි පහසුකම්වලින් සමන්විත පරගම්මන පිටි ගබඩා සංකීර්ණය විනාශ වී බිමට සමතලා වී යෑමට පෙර කුමක් හෝ වැඩ කටයුත්තකට යොමු කරන්නැයි ප්‍රදේශයේ ජනයා අධාල බලධාරීන්ගෙන් කාරුණිකව ඉල්ලීමක් කර සිටිති.

මේ සම්බන්ධයෙන් කෑගල්ල දිස්ත්‍රික් හිටපු අතිරේක දිස්ත්‍රික් ලේකම් බණ්ඩාර ඇකිරියගල මහතා මෙසේ පැවසීය.

“හිටපු ඇමැතිවරයෙක් වන පී.බී.ජී. කළුගල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් 1960 දී පමණ පරගම්මන පාන් පිටි ගබඩා සංකීර්ණය ඉදිකර තියෙනවා. ඒ කාලයේ ආහාර දෙපාර්තමේන්තුව බාරේ තමයි මෙය තිබුණේ. ත්‍රිකුණාමලයේ සිට පාන් පිටි ගෙනල්ලා කෑගල්ල දිස්ත්‍රික්කයට බෙදා හැරපු ප්‍රධාන මධ්‍යස්ථානය හැටියට එය පවත්වාගෙන ගියා.

එදා, දවසට ත්‍රිකුණාමලයේ ඉඳලා ලොරි රථ 10ක් 15ක් ආවා. ඊට පස්සේ සමුපකාර ලොරි රථ මඟින් කෑගල්ල දිස්ත්‍රික්කයේ සමුපකාර වෙළෙඳසල්වලට බෙදාහැරියා. කරගෙන ගිය වැඩපිළිවෙළ හරියට කරගෙන ගියා. පස්සේ වැසීයාමට ලක් වුණා. ඊට පස්සේ කර්මාන්ත ශාලා ලෙස කිහිපයක් කරගෙන ගියා. ගොඩනැඟිලි සියල්ල හොඳට ශක්තිමත්ව තියෙනවා. නමුත් ටිකෙන් ටික විනාශ වෙලා යන්න යනවා. හරක් ලගිනවා. විවිධ අපචාර සිදු වෙනවා. මේ ගොඩනැඟිලි තුන අද කාලයේ හදන්න ගියොත් විශාල මුදලක් වැය කරන්න වෙනවා. සාධාරණ කුලියට මොනයම් හෝ කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යාමට දුන්නොත් ගොඩනැඟිලි ආරක්ෂා වෙනවා” යැයි ඔහු පැවසීය.

චමින්ද ජයලත් 
කෑගල්ල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT