මේ දිනවල පොල් මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගොසිනි. පොල් විතරක්ම නොව සෑම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ද එලෙසය. හාල්, පොල්, යනු ශ්‍රී ලාංකේය ආහාර සංස්කෘතියට නැතිවම බැරි දේවල්ය. පෙරදිග ධාන්‍යාගාරයේ හාල් මිල හා පොල් ත්‍රිකෝණයක් ඇති රටේ පොල් මිල මෙතරම් ඉහළ යාමට බලපාන කරුණු මොනවාද? ඊට දිය යුතු විසඳුම් මොනවාද යන්න සොයා බැලීම අදාළ වගකිවයුතු බලධාරීන්ගේ වගකීමකි.
පොල් ගොවියාගේ පැත්තෙන් ගත් කළ ඔවුන්ද මුහුණ පාන ගැටලු රැසකි. විවිධ දේශගුණික, කාලගුණික විපර්යාසයන් සහ රිළවු, වඳුරන් වැනි වන සතුන්ගෙන් එල්ල වන හානි හමුවේ පොල් ගොවීන්ද අසරණ වී ඇත. මෙවැනි ස්වාභාවික කාරණා හමුවේ පොල් හිඟයක් මතුවන අතර ඒ සඳහා නියම කරන මිලද ඉහළ යාම හමුවේ ව්‍යාපාරික ලාභයක්ද තබා ගනිමින් පොල් මිල තීරණය කිරීමට සිදුව ඇත.
පොල් ගොවියාගෙන් රු. 50ට 60ට ගන්නා පොල් ව්‍යාපාරිකයින් හරහා පාරිභෝගිකයා අතට පත්වන විට පොල් ගෙඩියේ ප්‍රමාණය අනුව රු. 150, 180, 200, 250ට පමණ මිලකට ඉහළ ගොස් ඇත. ඇතැම් කූට වංචනික ව්‍යාපාරිකයින් පොල් ගොවීන්ගෙන් කුණු කොල්ලෙට මිලදී ගන්නා පොල් වැඩි ලාභ තබාගෙන සිය හිතුමතේට මිල තීරණය කරයි.
තවමත් ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් බැවින් ඉහළ යන භාණ්ඩ වියදම් දැරීමට තරම් සරිලන ආදායමක් බහුතර මධ්‍යම පාන්තික ජනතාවට නොමැත. 400g දේශීය කිරිපිටි පැකැට්ටුවක මිලත් 1050යි. විදේශ සන්නාම හිමි කිරිපිටි 400g පෙට්ටියත් රු. 1050යි. දේශීය දේ මිල අඩුවට සාධාරණව ජනතාවට ලබා දිය යුතු අතර විදේශීය භාණ්ඩ පරිභෝජනය සීමා විය යුතුය.
තේ,පොල්, රබර් යනු, මෙරට අපනයන බෝගයන්ය. පෙර පරාක්‍රමබාහු (පැරකුම්බා) රාජ යුගයේදී හාල් ද අපනයනය කර ඇති බව ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන් වේ. මෙලෙස හාල්, පොල්, හා ඕනෑම දණ්ඩක්, ඇටයක් නිකම් පැළවෙන, සරුසාර පොළොවක් හිමි රටේ කුලියෙන් මලියෙන් එදාවේල සරිකරගන්නා මධ්‍යම පාන්තික අහිංසක මිනිසුන්ට අපේම පන්තියේ ජනතාවට එක්වර පොල් ගෙඩි 2ක් හාල් කිලෝ 2ක් මිලදී ගැනීම යනු බලවත් ආර්ථික අභියෝගයකි.
කොත්මලේ
නාරද