Home » කොබ්බෑකඩුව රෝහලේ ඕ.පී.ඩී. ගැටලුවක්

කොබ්බෑකඩුව රෝහලේ ඕ.පී.ඩී. ගැටලුවක්

by mahesh
April 9, 2025 4:00 pm 0 comment

දඹුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාරය ගැනීමට යන රෝගීන් පරීක්ෂා කිරීමට පුහුණු වෛද්‍යවරු නොදැමීම නිසා රෝගීන් දැඩි අපහසුතාවලට පත් වෙන බව රෝගීහු චෝදනා කරති.

රෝගීන් ඇතුළත් කිරීමේ අංශයේ සහ බාහිර රෝගීන් පරීක්ෂා කිරීම සඳහා නිරන්තරයෙන්ම සීමාවාසික වෛද්‍යවරුන් යොදවා සිටීම නිසා හදිසි අනතුරක් හෝ හදිසි තත්ත්වයක් යටතේ රෝහල්ගත වන රෝගීන්ගේ තත්ත්වය පරීක්ෂා කිරීම ජංගම දුරකතනය ඔස්සේ ලබාගන්නා ඡායාරූපයක් මඟින් ප්‍රතිකාර සඳහා නිර්දේශ කරන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බව වාර්තාවේ.

රෝගීන් ඇතුළත් කිරීමේ අංශයේ මෙන්ම බාහිර රෝගී ප්‍රතිකාර අංශයේ සේවයේ යොදවා ඇති සීමාවාසික වෛද්‍යවරුන් අනතුරක් සිදුවී ප්‍රතිකාර ගැනීමට එන රෝගියාගේ තුවාල ඡායාරූපගත කර කාර්යභාර වෛද්‍යවරයා වෙත යොමු කරන බවත්, ප්‍රතිකාර සඳහා වෛද්‍ය නිර්දේශ එම ඡායාරූපයට අනුව ලබා දෙන බවත් චෝදනා කරනු ලබයි.

එම නිර්දේශ ලබා ගැනීමට තුවාලවල රුධිරය ගලමින් වුවද බොහෝ වේලාවක් රැඳී සිටීමට සිදුව තිබීම බලධාරීන්ගේ අවධානයට යොමු විය යුතු බව රෝගීහු කියා සිටිති.

දිගින් දිගටම රෝගීන්ට සිදුවන මෙම සිද්ධි පිළිබඳව

මාධ්‍යයට අදහස් දැක්වූ රෝගීන් කිහිප දෙනෙක්ම කියා සිටියේ, ඔවුන්ගේ තුවාල සඳහා නිසියාකාරව ප්‍රතිකාර නොකළ බවත්, නැවත මාතලේ මහ රෝහලට හෝ මහනුවර මහ රෝහලට හෝ යාමට සිදුවූ බවත්ය. එවැනි රෝගීන් කිහිපදෙනෙක්ම තුවාල පිරිසුදු නොකර ප්‍රතිකාර කිරීම, එක්ස්රේවලට භාජනය නොකර ප්‍රතිකාර කිරීම වැනි ක්‍රියාමාර්ග දඹුල්ලේ ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ සිදුවන බවට රෝගීහු චෝදනා කරති.

මේ පිළිබඳව දිගින් දිගටම ඉහළ නිලධාරීන් දැනුම්වත්කළ ද මෙම රෝහලින් සේවය ලබන අවට ප්‍රදේශවල ජනතාවට තවමත් සහනයක් නොලැබුණු බව රෝගීහු පවසති.

ඊට හේතුව, රෝහල තුළ ගොඩනැඟී ඇති ඒකාධිකාරයක් බවට තොරතුරු රෝහල් සේවකයෝ පෙන්වා දෙති.

විශේෂයෙන්ම දඹුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ පළමු පත්වීම ගත්දා සිට මේ වනතෙක්ම වැඩ කරන හෙද නිලධාරීන් රෝහල තුළ සිටීම, ඔවුන් ගෙන යන ඒකාධිකාරී පාලනය මත හොඳ සෞඛ්‍ය සේවාවක් සපයන වෛද්‍යවරයකුට රැඳී සිටීමට අවශ්‍ය වටපිටාව නැති කිරීමට එම හෙද නිලධාරීන් කටයුතු කරන බවයි .

එවැනි බලඅධිකාරියක් ගොඩනඟාගෙන ඇති හෙද නිලධාරීන් බොහෝදුරට ඔවුන්ගේ හිතවතුන්ට සහ ඥාතීන්ට සේවාව සපයන ආයතනයක් බවට රෝහල පත් කරගෙන ඇති බව රෝහල් සේවකයෝ කියා සිටිති.

ඒ තත්ත්වය පාලන අධිකාරියේ සිටින වෛද්‍යවරුන්ට පාලනය කළ නොහැකි තරමේ බලඅධිකාරියක් යැයි රෝහල් සේවකයෝ තොරතුරු අනාවරණය කරති.

රෝගීන්ට සිදුවන මේ අසාධාරණය සම්බන්ධව දඹුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයාට ද දැනුම් දී තිබුණද, තවමත් රෝහලේ පැහැදිලි වෙනසක් සිදුවී නොමැති බව ජනතාව පෙන්වා දෙති.

කුමාරි දිසානායක

කුරුණෑගල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT