Home » අල්ලස දූෂණය අතු ගා දමන්න නව පනතට පුළුවන්

අල්ලස දූෂණය අතු ගා දමන්න නව පනතට පුළුවන්

අල්ලස් හෝ දූෂණ විරෝධී කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් හිටපු විනිසුරු රංග දිසානායක

by mahesh
April 9, 2025 4:00 pm 0 comment

සුභාෂිණී සේනානායක

– නඩු පැවරීම්වලට ආණ්ඩුවේ කිසිම සම්බන්ධයක් නැහැ
– කිසිම පුද්ගලයෙක් ඉලක්ක කිරීමේ අරමුණක් අපිට නැහැ
– දූෂණය හෝ අල්ලස වැළැක්වීම කොමිසමට විතරක් කරන්න බැහැ
– සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමත්, ඔවුන්ගේ මුක්තියත් පනතේ තියෙනවා

2025 – 2029 දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරි සැලැස්ම අද (09) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනගත කෙරේ. ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විරෝධී කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් හිටපු විනිසුරු රංග දිසානායක මහතා සමඟ දිනමිණ සිදු කළ සාකච්ඡාවකි මේ.

නව පනත කුමන ආකාරයේ පනතක්ද?

පසුගිය මාර්තු මස 23 වනදා අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව ඉදිරි වසර පහක කාලය සඳහා නව පනතට අනුමැතිය ලැබී තිබෙනවා. රටක අභිවෘද්ධිය සහ ප්‍රගමනය උදෙසා අල්ලස් හා දූෂණය තුරන් කරලීම වඩාත් තීරණාත්මක සාධකයන් වන අතර, 2025 සිට ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී ප්‍රයත්නවල ඵලදායීතාවය ඉහළ නැංවීමේ අරමුණින් දේශීය හා ජාත්‍යන්තර පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කර තිබෙන අතර, මේ නව පනත මේ රටේ උන්නතිය සඳහා සුවිශාල දායකත්වයක් ලබා දෙන පනතක් බව පැවැසිය යුතුයි. අල්ලස දූෂණය මෙරටින් තුරන් කරලීමට නව පනත මඟින් හැකියාව ලැබෙනවා. දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම යනු අල්ලස් හෝ දූෂණ විරෝධී කොමිෂන් සභාවේ ක්‍රියාකාරී සැලැස්ම නොවේ. මෙය ජාතික මට්ටමින් ක්‍රියාකාරී සැලැස්මකි. 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභා පනතේ කොමිෂන් සභාව ස්ථාපිත කර තිබෙනවා. ඒ පනත සහ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත අතර විශාල වෙනස්කමක් තිබෙනවා. 1984 19 පනත මඟින් කොමිෂන් සභාවට බලය ලබාදී තිබෙන්නේ අල්ලස හා දූෂණය සම්බන්ධයෙන් වූ වැරැදි පිළිබඳ විමර්ශනය කිරීමට සහ නඩු කටයුතු පවත්වාගෙන යෑමටයි. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ඊට වඩා විශාල පුළුල් පරාසයක් තිබෙන පනතක්. මෙය නඩු පැවරීමට එහා ගිය දූෂණය සහ අල්ලස වැළැක්වීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමට මැදිහත් වීමට තරම් බලතල සහිත පනතක්. අන්තර්ජාතික පනත්වලින් අපි බැඳී සිටිනවා. එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තිය මඟින් ශ්‍රී ලංකාව නියෝජනය කරන ප්‍රමුඛ ස්ථානය වන්නේ අල්ලස් හෝ දූෂණ විරෝධී කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයායි. කොමිෂන් සභාව හුදෙක් විමර්ශනය කරන සහ නඩු පවරන ආයතනයක් පමණක් නොවේ. ඒ නිසා අපිට මේ ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සම්බන්ධයෙන් වන නෛතික බලයක් ලැබී තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ විරෝධී කොමිෂන් සභාව ජාතික සැලැස්මක් හදන්නේ කොහොමද?

ඒ සඳහා වන සියලුම නෛතික බලතල පාර්ලිමේන්තුව විසින් මේ පනතට දී තිබෙනවා. මේ පනතේ තිබෙන විශේෂතාවය වන්නේ, ස්වාධීන කොමිෂන් සභාවට වඩා වැඩි බලතල මේ පනතින් කොමිෂන් සභාවට ලැබී තිබෙනවා. කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභාවලට වඩා එහා ගිය ස්වාධීනත්වයක් දරන කොමිෂන් සභාවක්. ඇයි එහෙම කියන්නේ කියලා මේ පනත කියවන ඕනම කෙනෙකුට තේරෙනවා. ප්‍රශ්නයක් තිබෙන්නේ ලංකාවේ මිනිස්සු ලංකාවේ නීතිය කියවන්නේ නැති එකයි. පනත පාස් කරපු පාර්ලිමේන්තුවේ හිටපු දේශපාලනඥයොත් ලංකාවේ නීති කියවන්නේ නැහැ. මේ පනත කියවලත් නැහැ. සමහර දේවල් සම්බන්ධයෙන් මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා ප්‍රකාශ කරපු දේශපාලනඥයන්ගෙන් කරුණාවෙන් ඉල්ලනවා ඔබ විසින් සම්මත කරපු පනත කියවන්න කියලා. එහෙම නොකියවා සමහර ප්‍රකාශ නිකුත් කිරීම කරන්න එපා. එහෙම වුණාම කරපු දේ ඉදිරියේදී කියන්නම්. මේ පනතේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. මේ පනතේ පාලනය සියලු බැඳීම්වලින් ඉවත් කර තිබෙනවා. රජය සමඟ බැඳීම්වලිනුත් ඉවත් කර තිබෙනවා. 2023 අංක 09 දරන පනත සකස් කර තිබෙන්නේ, ඉතාම ස්වාධීන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමටයි. හොංකොං වගේ සමහර රටවල තිබෙන කොමිෂන් සභා සමඟ සංසන්දනය කරලා අන්තර්ජාතික වශයෙන් කියන උපමාන අනුව සකස් කරනු ලැබූ ඉතාම විශිෂ්ට පනතක්. නීතියක් හැදුවට පස්සේ අපි කැමැති වුණත් අකමැති වුණත් ඒක තමයි රටේ නීතිය. දැන් තිබෙන කොමිෂන් සභාව මොන ආකාරයේ කොමිෂන් සභාවක් ද යන්න පනත කියවීමෙන් තේරුම්ගත හැකියි. සම්පූර්ණයෙන් රජයේ පාලනයෙනුත් ඉවත් වීම සඳහා කරුණු එහි ඇතුළත්. රජයේ දෙපාර්තමේන්තුවක් යටතේ මේ කොමිෂන් සභාව නැහැ. කොමිෂන් සභාවට අවශ්‍ය මුදල් වෙන් කරන්නේ පාර්ලිමේන්තුවෙන්. අවශ්‍ය ඇස්තමේන්තුව සකස් කර ඉදිරිපත් කරන්නේත් පාර්ලිමේන්තුවටයි. පාර්ලිමේන්තුව එය මුදල් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇස්තමේන්තුව සම්මත කර ගත යුතුයි. එය ස්වාධීන කරපු එක් තැනක්. 26 වැනි වගන්තියේ තියෙනවා කොමිෂන් සභාවට වෙනම සේවකයින් පිරිසක් සිටිය යුතු බවට. ඔවුන්ගේ පාලනය සඳහා රීති රෙගුලාසි හදන එක කොමිෂන් සභාවේ කාර්යයක්. වෙන කිසිම රජයේ ආයතනයක් සමඟ මේ සේවකයන් සම්බන්ධ වන්නේ නැහැ.

මීට ඇති අභියෝග මොනවාද?

සමහර නඩු පැවරීම් කරනකොට දේශපාලන පළිගැනීම් කියලා කියන දේශපාලනඥයන්ට කියන්න තියෙන්නේ කොමිෂන් සභාව ඒකට ගාව ගන්න එපා කියලා. මම හොඳින් බලන් ඉන්නවා කොමිෂන් සභාවට යම් අපහාසයක් වන ආකාරයේ දෙයක් සිද්ධ වෙනවද කියලා. පනතේ 118 වැනි වගන්තියේ ඒ බව පැහැදිලිව තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළ හැකියි. මුලින්ම රටේ නීතිය දැනගත යුතුයි. ඊට පස්සේ ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම කියනවා නම්, පනත ගෙනාපු අයගේ අදහස වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම ස්වාධීන වෙච්ච පනතක් හදන එක.

වෙනත් කෙනකු මත යැපෙන්නේ නැතිව ස්වාධීනව ක්‍රියාත්මක කළ හැකි පනතක්, ස්ථාපිත කර තිබෙනවා. පනතේ දෙවැනි වගන්තියේ තියෙනවා වසර 1 ½ ක්‍රියාත්මක වන බව. ඇමැතිවරයා විසින් ගැසට් නිවේදනයක් මඟින් ක්‍රියාත්මක වන දිනය ප්‍රකාශ නොකළහොත් කියා එහි කියා තිබෙනවා. යම් දූෂිත අධිකරණ ඇමැතිවරයෙක් සිටියත් පනත ගැසට් නොකළත් ක්‍රියාත්මක වන දිනය එහි සඳහන්. 2023 අගෝස්තු මස 8 පනත සම්මත වෙනවා. සැප්තැම්බර් 15 අධිකරණ ඇමැති මේ පනත ක්‍රියාත්මක වන දිනය නිශ්චිත කරනවා. ඉන් සිදු වුණ දේ පැහැදිලිව මේ රටේ මහජනතාව දැනගත යුතුයි. මේ පනතේ හදාගන්න ඕන දේවල් ගොඩක් තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කළා, වසර 1 ½ ක කාලයක් මේ අවශ්‍යතා සපුරන්න දෙන්න ඕන කියලා. එහෙම තියෙද්දී ඇමැතිවරයා මාසයකින් මෙය ගැසට් කළා. එහෙම කළාම මේ පනතේ හදාගන්න ඕන දේවල් එකක්වත් හදාගන්න බැරිවුණා. කොමිෂන් සභාවට වෙනම කාර්යමණ්ඩලයක් සිටිය යුතුයි. ඔවුන් සඳහා වන දීමනා සහ සියල්ල පාර්ලිමේන්තුව තීරණය කළ යුතුයි. කොමිෂන් සභාවේ රීති සහ රෙගුලාසි මත එම කාර්යමණ්ඩලය කටයුතු කළ යුතුයි. නමුත් ඒවා හැදුණේ නැහැ. වත්කම් හා බැරකම් ප්‍රකාශ සඳහා ඉලෙක්ට්‍රොනික මධ්‍යම පද්ධතියක් සකස් කළ යුතුයි. ඒවා හැදුවෙත් නැහැ. මේ පනතේ සමහර වගන්ති ක්‍රියාත්මක කිරීමට රීති සහ රෙගුලාසි 25 – 30 පමණ ගණනාවක් ක්‍රියාත්මක කළ යුතුයි. ඒවා එකක්වත් හැදුවේ නැහැ. 2023 සැප්තැම්බර් 15 පනත ක්‍රියාත්මක වුණා. අලුත් පනත යනු පරණ පනත යටතේ සාදනු ලැබූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවක් නොවේ. කාර්ය මණ්ඩලයට කිසිවෙක් බඳවා ගන්න බැරිවුණා. කොමිෂන් සභාව පවත්වාගෙන යන්න අවශ්‍ය නිසා හිටපු කාර්යමණ්ඩල නිලධාරින් සමඟ ඒ ක්‍රමවේදය යටතේ පවත්වාගෙන ගියා. කොමිෂන් සභාවේ ඉන්නේ නීති නිලධාරින් 31යි. කාර්යමණ්ඩලය කවුරුත් බඳවා ගන්න කොමිෂන් සභාවට හැකියාවක් නැහැ. මෙතෙක් විමර්ශන අවසන් කර නඩු නොපැවරූ ලිපි ගොනු 4000කට ආසන්න සංඛ්‍යාවක් තිබෙනවා. මේ සම්පත් සමඟ ඒවා අවසන් කිරීම විශාල අභියෝගයක්. ඇයි මේවා මිනිස්සුන්ට කිවුවේ නැත්තේ කියලා සමහරු මගෙන් ඇහුවා. අද මම කියනවා. ජනවාරි 10 මම වැඩ භාරගෙන මේ අභියෝගයන්ට මුහුණ දුන්නා. ඒ අභියෝග ජයගන්නේ කොහොමද කියලා බැලුවා. කාර්යමණ්ඩලය බඳවා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා වට ගණනාවක් පැවැත්වූවා. පාර්ලිමේන්තුවෙන් මෙය සම්මත කළාට රජය පැත්තෙන් කාර්ය පටිපාටියක් තිබෙනවා.

ස්වාධීන අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවක් පවත්වාගෙන යෑමට රජය පැත්තෙන් කළ යුත්තේ මොනවාද?

එය පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් පාර්ලිමේන්තුව හරහා සම්මත කර ගත්තා. මුදල් අමාත්‍යවරයාටත් යම් කාර්යභාරයක් පැවරී තිබෙනවා. මේ රජයට යම් සාධාරණයක් වීම සඳහා මේ දෙවලුත් කියන්න ඕනෑ. 2024 ඇස්තමේන්තුව 2025 අය-වැය සඳහා අපි ඉදිරිපත් කළා. ඉන් කිසිදු මුදලක් අඩු නොකර පාර්ලිමේන්තුව සම්මත කර තිබෙනවා. කාර්යමණ්ඩලය බඳවා ගැනීම සඳහා අප විසින් යෝජනා කළ කාර්යමණ්ඩලය ජනාධිපතිතුමා විසින් අනුමත කර තිබෙන බව මට දැනගන්නට ලැබෙනවා. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. නඩු පවරවනවාද? කාටද මොනවාටද නඩු පවරන්නේ කියලා පාලනයක් රජයට නැහැ. එහි වගකීම කොමිෂන් සභාවට තියෙන්නේ. ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2025 සිට 2029 දක්වා වසර 5කට සකස් කර තිබෙනවා. එය අද එළිදක්වනවා. විවිධ අංශවලට එක් එක් වගකීම් මෙහි පවරලා තිබෙනවා. දූෂණය හෝ අල්ලස වැළැක්වීම කොමිසමට විතරක් කරන්න බැහැ. සියලු රජයේ ආයතනවල නිලධාරීන්ගේ සහ මහජනතාවගේ වගකීමක්. ආයතන සකස් කර ගත යුතු ක්‍රියාකාරී සැලැස්ම මෙහි තිබෙනවා. ක්‍රියාත්මක වීම සඳහා පසුවිපරමක් ඉදිරියට කරනවා. වැරදිවලට අදාළ පුද්ගලයන් අල්ලලා නඩු දාලා, හිරේ දාලා අල්ලස දූෂණය මැඬපවත්වන්න බැහැ කියලා අප විශ්වාස කරනවා. ලෝකයේ කිසිම රටක් එහෙම කරලා නැහැ. මේ සැලැස්ම ඇතුළේ නිවාරණය, අධ්‍යාපන හා ප්‍රජා සහභාගිත්වය, ආයතන ශක්තිමත් කිරීම හා ක්‍රියාත්මක කිරීම, නීති හා ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ අංග 4ක් තියෙනවා.

ඔය මොන පනත් ගෙනාවත් හොරු ඇල්ලුවද කියලා ජනතාව ප්‍රශ්න කරනවා?

අපි මොනවා කළත් අවසානයේ මිනිස්සු බලන්නේ හොරු කීයක් ඇල්ලුවා ද කියලා. ඒ සඳහා වන පැමිණිලි අප ගාව තිබෙනවා. අපි ගාව තිබෙන ගොනුවල විශාල දූෂණ සම්බන්ධයෙන් වන පැමිණිලි තියෙනවා. මේ සීමිත සම්පත් මත මේවා කරන එක අභියෝගයක්. විශේෂ ඒකකයන් පිහිටුවලා යම් වැඩපිළිවෙළක් අප සකස් කරලා තියෙනවා. මිනිස්සුන්ට විශ්වාසය ලබා දීලා අල්ලස දූෂණයට විරුද්ධ වෙන්න කියලා කියන්න සහ ඔවුන් ආරක්ෂා කරන්න අපට වගකීමක් තිබෙනවා. පැමිණිලි කරන මිනිසුන්ට විඳින්න වෙන හානි අපි අවම කරන්න ඕන. ඒ සම්බන්ධයෙන් මට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ අය ආරක්ෂා කරන්න ඕන. වැඩක් කර ගන්න බැරි කෙනෙකුගේ වැඩේ කරල දෙන විදිහ හොයන්න ඕන. සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම, ඔවුන්ගේ මුක්තිය සියල්ල පනතේ තියෙනවා. සමහර නඩු දානකොට විනිසුරුවරුන් අහනවා මෙච්චර කල් මොනවද කළේ කියලා. සුවිශේෂී හේතු නැති වුණත් මේ සම්පත් ප්‍රමාණයෙන් සහ ලැබෙන පැමිණිලි අනුව ඒවා කරන්න කාලය ගතවෙනවා. මම අලුත් වුණාට තිබෙන සම්පත් සහ නිලධාරින් ගැන මට පේනවා. සමහර නඩු ඉතාම සංකීර්ණයි. ඇතැම් ලිපිගොනු මගේ උසින් බාගෙකට හැදෙනවා. ඒවාට අවශ්‍ය විශේෂඥයන් බඳවා ගන්නවා. කිසිම පුද්ගලයෙක් ඉලක්ක කිරීමේ අරමුණක් අපිට නැහැ. සාක්ෂි කරුණු තිබෙනවා නම් අපි නඩු දානවා.

කොමිෂන් සභාව කොළඹ පමණයි ක්‍රියාත්මක වෙන්නේ. මෙය පුළුල් කරන්න බලාපොරොත්තු වෙනවාද?

ඔව්. කොළඹ පමණක් තිබීමෙන් කීදෙනෙක් පැමිණිලි කරනවාද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. රුපියල් 2000ක අල්ලසක් ගත්තම මුලතිව් කෙනෙක් කොළඹ එන්න ඕන පැමිණිලි කරන්න. රුපියල් 2000 අල්ලස අල්ලන්න රුපියල් 50000ක් විතර යනවා. සාක්ෂි දෙන්න කොළඹ එන්න ඕන. දෙතුන් පාරක් එනකොට සාක්ෂිකාරයයි, විත්තිකාරයයි දෙන්නම එකට එන්නේ. මේවා මෙච්චර කල් හිටපු අයට මතක් වුණේ නැත්තෙ ඇයි කියන්න මම දන්නෙ නැහැ. ඒ නිසා 2026 මාර්තු 01 වැනිදා වෙනකොට අපි අපේ බලය විමධ්‍යගත කර තිබෙනවා. අධිකරණ ඇමැතිවරයාගෙන් අධිකරණ බලය විමධ්‍යගත කරන්න ඉල්ලීමක් කරන්න පුළුවන්. සෑම දිස්ත්‍රික්කයකටම එක බැගින් කාර්යාල පිහිටුවනවා. ඒ කාර්යාලවලට විමර්ශන නිලධාරින් නීති නිලධාරියෙක් සහ නිවාරණ නිලධාරියෙක් පත් කරනවා. මේ වන විට 967 කාර්ය මණ්ඩලයකට එකඟතාවය ලැබී තිබෙනවා. ඊට පසු නඩු පැවරීම් කරන්නේ ඒ අධිකරණවලයි.

ඡායාරූපය – සුදත් නිශාන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT