ශ්‍රී ලංකාවේ තිරසර අපද්‍රව්‍ය කළමනාකරණයට මහඟු පිටිවහලක් ලබාදෙන නව ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ සහතික කිරීමේ ක්‍රමවේදයක් – GP Certified නමින් පසුගියදා කොළඹදී හඳුන්වාදෙනු ලැබීය. මෙම ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබුවේ Island Climate Initiative (ICI) ආයතනය විසිනි. GP Certified යනු ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර ප්‍රමිතින් අනුව ක්‍රියාත්මක කිරීමට මඟ පෙන්වමින් මෙරටට මුල් වරට හඳුන්වා දෙන උසස් තත්ත්ව සහතිකයකි. එහිදී ICI නිලධාරීන් පැවසුවේ, ‘ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය ජාත්‍යන්තරව පිළිගත් නිර්නායක අනුව ක්‍රියාත්මක කිරීමට මෙය උපකාරී වේ’ යන්නයි.
ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණයේ අභියෝගය වසරකට ටොන් ගණනින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ පරිසරයට මුදාහැරෙයි. එයින් ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන්නේ සියයට 4%ක් පමණි. ඉතිරි 96% බොහෝවිට දහනය කිරීම, කසළ ලෙස බැහැර කිරීම හෝ ජල මාර්ගවලට මුදා හැරීම හේතුවෙන් විශාල ලෙස පාරිසරික හා සාගර /ජල දූෂණයට මඟපාදයි. GP Certified ක්‍රමවේදය මෙම ගැටලුවට විසඳුමක් වශයෙන් හඳුන්වාදී ඇති අතර, එය ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය නවීකරණය කරමින් ශ්‍රී ලංකාවේ බහුල වශයෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට මුදාහරින FMCG (Fast-Moving Consumer Goods) වෙළඳපළට නව මඟක් සපයයි. ඒ අනුව ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සහතික කරමින්, ප්ලාස්ටික් භාවිතය සඳහා වගකීමක් සහිත ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට මෙය උපකාරී වේ.
මෙම වැඩසටහනට PLEASE ව්‍යාපෘතිය මඟින් මූල්‍ය සහය ලබාදෙන අතර, එය ලෝක බැංකුව සහ UNOPS ආයතනවල සහය යටතේ, දකුණු ආසියානු සහකාර පාරිසරික වැඩසටහන (SACEP) මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
කොළඹදී පැවැති මෙම එළිදැක්වීමේ උත්සවයේදී FMCG වෙළඳ නාම ප්‍රවර්ධකයින්, ප්‍රතිචක්‍රීකරණකරුවන්, ප්‍රතිපත්ති සැලසුම්කරුවන් සහ පාරිසරික නියෝජිතයන් එක්වී ශ්‍රී ලංකාවේ තිරසාර ඇසුරුම්කරණයේ අනාගතය පිළිබඳව සාකච්ඡා කළහ. GP Certified වැඩසටහන ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තය නව මානයකට ගෙනයාමට සහාය වන අතර, තිරසාර චක්‍රීය ආර්ථිකයක් ගොඩනැගීමට මෙය වැදගත් වේ.