දිවයිනේ අධිවේගී මාර්ග සහ මහාමාර්ග පද්ධතිය තුළ සිදුවන රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින් ජනතාව සහ රියදුරන් දැනුම්වත් කිරීම උදෙසා ‘මාර්ග ආරක්‍ෂාව සහ රියදුරු පුහුණු කුසලතා වර්ධනය කිරීමේ ජාතික වැඩසටහන’ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සහ මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාව එක්ව සංවිධාන කරනු ලබන මෙම ජාතික වැඩසටහනේ සමාරම්භය මහාමාර්ග අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේදී අද(09) පැවත්විණ.
එම අවස්ථාවට පොලිස් රථවාහන කොට්ඨාශයේ නිලධාරීන්, අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල නිලධාරීහු සහ රියදුරෝ ද එක්ව සිටියහ.
වසරකට සිදුවන දෙදහසකට අධික රිය අනතුරු අවම කරමින්, රටට අහිමිවන දෙදහස් පන්සියයකට ආසන්න වටිනා ජීවිත ආරක්‍ෂා කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. නීති පැනවීම හා දඩ මුදල් අයකිරීමට අමතරව ජනතාව සහ රියදුරන් ආකල්පමය වශයෙන් පරිවර්තනයට ලක් කිරීම මෙමගින් මගින් අපේක්‍ෂා කෙරේ.
මෙම ‘මාර්ග ආරක්‍ෂාව සහ රියදුරු පුහුණු කුසලතා වර්ධනය කිරීමේ ජාතික වැඩසටහන’ තුළින් ජීවිත සුරක්‍ෂිත කරමින් පවුල් සංස්ථාවට, ආර්ථිකයට සහ සමස්ථ සමාජයට මාර්ග අනතුරු මගින් සිදුවන හානි අවම කිරීමට අපේක්‍ෂා කෙරේ.
ප්‍රධාන පුහුණු වැඩසටහනට අමතරව කැළණිය, බොරැල්ල සහ ජා-ඇල යන ප්‍රදේශවලදී ද මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.