හිටපු දේශපාලනඥයින් හා යම් යම් පුද්ගලයින් ඊශ්‍රායල් රැකියා වැඩසටහන තුළ විවිධ දූෂණ, වංචා අකටයුතුකම් සිදු කළ බවත් ඇතැම් සමාජ මාධ්‍ය පවා සාවද්‍ය පුවත් ප්‍රචාරය කරමින් රජයට, ආයතනයට සහ එහි නිලධාරීන්ට අපකීර්තිමත් වන ආකාරයේ යම් යම් ප්‍රකාශ සිදු කරමින් සිටි බවත් ඒ සියලු අභියෝගවලට මුහුණ දෙමින් රජයක් විදිහට රටක් වෙනස් කිරීමට ගත් උත්සාහය කිසි ලෙසකින් අත් නොහරින බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒ මහතා මේ අදහස් පළ කළේ, ඊශ්‍රායල් රැකියා වැඩසටහන යටතේ ප්‍රථම වරට හෝටල් ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියා අවස්ථාවන් හිමි වූ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් පිරිසකට ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාවකට ඊයේ (08) කාර්යාංශයේදී එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, යම්කිසි සාධාරණ අවම මුදලකට ඊශ්‍රායල් රැකියා සදහා විදේශගත වීමට අවස්ථාවක් උදා කිරීමට සැම විටම උත්සාහ ගනිමින් සිටින නමුත් තවමත් යම් යම් ගැටලුකාරී තත්ත්ව තිබිය හැකි බවත් ය. ඊශ්‍රායල් රැකියා වැඩසටහන තුළ පසුගිය කාලයේදී විවිධ අක්‍රමිකතා රැසක් සිදුවී තිබූ බවත්, නුසුදුසු පුද්ගලයින් එම රැකියාවට යොමු කිරීම හේතුවෙන් ඔවුන් සේවා ස්ථානවලින් පැනයම හා සේවය කිරීමට පළපුරුද්ද නොමැතිකම නිසා මෙම ගැටලුකාරී තත්ත්වය උදා වූ බවද ඔහු සඳහන් කළේය.
කාර්යාංශය ලෙස කොතරම් මහන්සි වුව ද විදේශ රැකියා ක්ෂේත්‍රයක දියුණුව රඳාපවතින්නේ එම ක්ෂේත්‍රයෙන් විදේශගත වන ශ්‍රමිකයින්ගේ ක්‍රියා කලාපය මත බවත් සුදුසු කණ්ඩායම් තෝරා ගැනීමට කටයුතු නොකළ නිසා යම් යම් අවස්ථා රටට අහිමි වූ බව සඳහන් කළ සභාපතිවරයා ඉදිරියේදී ඊශ්‍රායල් කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා ශ්‍රමිකයින් තෝරා ගැනීමේදී වඩාත් විනිවිද භාවයෙන් යුතුව සියලු දෙනාට
සමාන වන පරිදි තෝරාගැනීමට කටයුතු කරන බවත්, නව ප්‍රතිසංස්කරණ සහ නව වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ඊශ්‍රායල් කෘෂි අංශයේ රැකියා යළි ලබා ගැනීමට උත්සහ කරමින් සිටින බවත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
යම් පුද්ගලයෙකු රැකියාවකට තෝරා ගත් පසු ඔහු ශ්‍රමිකයකු ලෙස විදේශ රැකියාව සිදු කිරීමේ දී සැලකිලිමත්භාවය අත්‍යවශ්‍ය බවත් ඔහු හෝ ඇය රටක් නියෝජනය කරන නිල නොලත් තානාපතිවරයෙකු වන බවත් ඔවුන්ගේ පෞද්ගලික ක්‍රියා කලාපය රැකියා ක්ෂේත්‍රයේ දියුණුවට හා පරිහානියට බලපාන බවත් කාර්යාංශ සභාපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.