Home » අලුත් අවුරුද්දට පෙර..!

අලුත් අවුරුද්දට පෙර..!

by Gayan Abeykoon
April 9, 2025 4:08 pm 0 comment

සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟම අලුත් අවුරුදු උදාව සිදුවන බව ජ්‍යෝතීර්වේදීන් අවිවාදයෙන් යුතුව පිළිගනියි. ජ්‍යෝතිෂය පිළිබඳ අවබෝධයක් තිබුණද, නොතිබුණද අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර නිසි ලෙස ඉටු කළද, නොකළද ‘අවුරුදු සමය’ ලෙස යමක් රට පුරා ප්‍රායෝගිකව අත්දකින්නට පුළුවන. දයාසේන ගුණසිංහ විසින් වරෙක ‘සූර්යා මීන රාශියෙන් මේස රාශියකට’ ගමන් නොකරන බව ලියමින් කීවේ, අවුරුදු ‘මේසය’සියල්ල එක සේ ආහාරපානවලින් ආඪ්‍ය නොවන බව සහ  දුප්පතුන්ට අවුරුදු අසිරිය අර්ථවත් නොවන බවයි. එහෙත් එකී දුප්පතාට පවා ‘අවුරුදු’යනුවෙන් යමක් පවතින බව පිළිගන්නට සිදුවේ.

සූර්ය වන්දනාව (ඉර), නව සඳ බැලීම(හඳ), හිස තෙල් ගෑම, නැකැත් ගනුදෙනුවලට සමගාමීව ළිඳේ ජලය සමඟ ගනු‍දෙනු කිරීම (ජලය), ළිප ගිනි මෙළවීම (ගින්න) ආදී සියලුම චාරිත්‍ර වාරිත්‍ර සලකා බැලීමේදී මහින්දාගමනයට පෙර මෙරට පැවති ප්‍රාථමික ඇදහීම් සියල්ලම පාහේ ඇතුළත් බව නිරීක්ෂණය කළ හැකි ය. එනම් පූර්ව නූතන ඇදහීම්වල නූතන ප්‍රකාශනයක් ලෙස ‘අලුත් අවුරුදු උදාව’හැඩ ගැසී ඇති බව ය. ‘මිය ගිය පරම්පරාවන්ගේ සිහින ජීවත්වන්නවුන්ගේ හිස් ගෙඩිමත හොල්මන් කරයි’යනුවෙන් දෘෂ්ටිවාදී වශයෙන් මාක්ස්වාදී අදහස මෙහිදී සිහිපත් වේ. එනම් යම් සමාජ ක්‍රමයක් මුළුමනින් වෙනස් කළද, පෙරළා දැමුවද එහි නෂ්ඨාවශේෂයන් අලුත් පරම්පරාවන්ට කාන්දුවීම නොවැළැක්විය හැකි දෙයකි. එබැවින් මහින්දාගමනය සමඟ සිදුව ඇත්තේ පෙර පැවති ඇදහීම් හා විශ්වාසයන් බුදු දහම සමඟද මුසුවී නව ස්වරූපයකින් යළි හැඩගැසීමකි. පූර්ව නූතන යුගයේ හිරුට වන්දනාමාන කිරීම, සඳට වන්දනාමාන කිරීම ආදියට වේලාවක් අවේලාවක් නොතිබුණේ නම් ජ්‍යේතීර්වේදයද, බුදු දහමද සම්මිශ්‍රණයවීමෙන් ඒ සඳහා සුබ වේලාවක්ද, එකී වේලාවට සෙත් පිරිත් සජ්ජායනා ආදියද එකතුවීම කාලයත් සමඟ සිදුවන්නට ඇත.

90 දශකයෙන් පසු ලංකාවේ මාධ්‍ය ප්‍රාග්ධනය සමුච්ඡනයත්, එහි සබඳතා ග්‍රාමීය ආර්ථිකය හා ගැටගැසීමත් සමඟ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර වඩාත් නවීන සංස්කෘතිකාංග හා එක්ව අවුරුදු උත්සවය, ‘සූර්ය මංගල්‍යය’ බවට පරිවර්තනය විය. වීඩියෝ කැමරාවන්හි කැමරා කෝණයට ඔබින ලෙස තෙල් තාච්චියේ බැදෙන කොකිසයේ සිට අවුරුදු කුමරියගේ නාභිය දක්වා සියලුදේ යළි ගොඩනැංවීම සිදුවෙයි. කොළඹින් ගමට කැටුව යන ළමා ළපටින්, තරුණ තරුණියන් වෙල් ඉපනැල්ලේ, ගමේ කඩ පේළියේ, සෙල්ලම් පිට්ටනියේ රඟ දක්වන ගැමි නර්තනයන් ටෙලිවිෂනයෙන් එකී ගම්මුන්ටම දැකබලා ගැනීමට හැකි ය. රංගවස්ත්‍රාභරණයන්ගේ සිට සියල්ල වර්ගීකරණය කොට සේවා අනුග්‍රහය සැපයීමට වෙළෙඳ ප්‍රජාව සූදානම්ව සිටියි. එබැවින් සිංහල හා ද්‍රවිඩ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර යනු වානිජකරණය වූ වෙළඳ සැණකෙළියකට වඩා වැඩි යමක් නොවේ.

එහෙත් අප කැමති වුව අකමැති වුව මෙහි සාධනීය පැතිකඩක් හඳුනාගත හැකි ය. එනම් එකම වේලාවකට, එකම දිශාවකට නැඹුරුව, එකම කටයුත්තකට රටක් වශයෙන් පෙළ ගැසීම ය. නැකැත් වේලාවන් පිළිගත්තද, නොගත්තද අතිශය බහුතර ජනකායක් එකම සාමූහික ජන විඥානයකින් යුතු මොහොතක් යනු යම් දේශපාලනික මොහොතකි. සුබවාදීව අනෙකා ගැන සවිඥානක වන්නේ නම් සාමූහික ක්‍රියාකාරිත්වයක අපේක්ෂා දල්වා ගත හැකි අවස්ථාවකි. එවිට රාජ්‍ය නිලධාරියෙකු පැමිණ මහමග පිරිසිදු කරදෙන තෙක් බලා සිටින, ඊට බද්දෙන් ගෙවන්නට සූදානම්වන රට වැසියාම තමන්ගේ සුරතල් බල්ලා කැටුව ගොස් මග අයිනේ කැත කරවන්නට ක්‍රියා කිරීම පිළිබඳ දෙවරක් කල්පනා කරන්නට සිදුවනු ඇත. අනුන්ගේ කුණු කසළ තමන්ගේ තාප්පය අසළ දමා යනවාට එරෙහි වන අතරේම තමන්ගේ කසළ තවත් තාප්පයක් අසළ හෝ මහ මග දමා නොයන්නට තීරණය කරනු ඇත. අනුන් වෙනස්වී තමන්ට යහපත් අනාගතයක් සාදාදෙනු ඇතැයි අපේක්ෂා කරන අතරේම තමන්ද වෙනස් විය යුතු බැව් සිහියට ගන්නවා ඇත. එවැනි සාමූහික ජන විඥානයක් ගොඩනඟා ගන්නා පළමු මොහොතේදීම, හුදු ප්‍රාර්ථනා කිරීමකින් ඔබ්බට අලුත් අවුරුද්ද ‘සුබ’බවට පත් කර ගැනීමට අපට හැකිවනු නොඅනුමාන ය.

 

  මන්දාකිණී රත්නායක

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT