Home » බලය කේවල් කිරීම හා ජාතිය ගොඩනැඟීම හෙවත් අර්බුදය හා පරිවර්තනයේ දේශපාලනය

බලය කේවල් කිරීම හා ජාතිය ගොඩනැඟීම හෙවත් අර්බුදය හා පරිවර්තනයේ දේශපාලනය

by Gayan Abeykoon
April 9, 2025 4:10 pm 0 comment

අචාර්ය දිලීප විතාරණ විසින් ලියන ලද ශ්‍යාමා බස්නායක විසින් පරිවර්තනය කරන ලද, ‘බලය කේවල් කිරීම සහ ජාතිය ගොඩනැඟීම: ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ක්ෂේත්‍රය’ කෘතිය එළිදැක්වීම නිමිත්තෙන් පැවති සම්මන්ත්‍රණයේදී පළ කළ අදහස් සම්පිණ්ඩනයකි.

බලය කේවල් කිරීම සහ ජාතිය ගොඩනැගීම: ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ක්ෂේත්‍රය යන මැයෙන් දිලීප විතාරණ ලියූ කෘතිය Negotiating Power and Constructing the Nation: Engineering in Sri Lanka වශයෙන් ඔහු විසින්ම 2022 දී පලකළ ඉංග්‍රීසි භාෂා කෘතියේ සිංහල පරිවර්තනය වේ. මේ කෘතිය පළිබඳ මට අවශ්‍ය ඉතාමත් කෙටියෙන් කාරණා තුනක් පිළිබඳ අදහස් දැක්වීමටය. එනම්,

1)     කෘතියේ ප්‍රව්ශය කුමක්ද?

2)     ශ්‍රී ලාංකේය සමාජයීය විද්‍යා හා මානව ශාස්ත්‍ර ක්ෂේත්‍ර සම්බන්ධයෙන් කෘතිය පළකිරීමත් සමග සලකුණු කරන්නේ කුමක්ද?

3)     පරිවර්තන ක්‍රියාවලියේ දේශපාලනය

කෘතියේ ප්‍රවේශය

කෘතියේ අන්තර්ගතය සම්බන්ධයෙන් අදහස් දක්වන්නට මගේ කැමැත්තක් නැත. එය පාඨකයින්ගේ කාර්යභාරය යි. ඉතාමත් පුළුල් වශයෙන් ගතහොත්, කෘතිය ප්‍රධාන දැනුම් ධාරා දෙකක් තුළ ස්ථානගත කළ හැකි ය. ඉන් එකක් විද්‍යාව පිළිබඳ දර්ශනවේදය (philosophy of science), නැතිනම් වඩාත් නිශ්චිතව, තාක්ෂණය හෝ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ දර්ශනවේදය (philosophy of technology or science) වන අතර,  අනෙක වඩාත් පුළුල් වූ සමාජයීය විද්‍යා ක්‍ෂේත්‍රය යි. කතිකාමය වශයෙන් මේ කෘතිය ස්ථානගත වෙන්නේ සමාජයීය (social) සහ තාක්ෂණික (technological) යන අවකාශ දෙක අතර ය. වඩාත් පැහැදිලිව පවසන්නේ නම්, මේ අවකාශ දෙක තාක්ෂණය (technology) සහ ජාතිකවාදය (nationalism) වශයෙන් හඳුනාගත හැකි ය.

ශ්‍රී ලාංකේය මෙන්ම ශ්‍රී ලංකා කේන්ද්‍රීය දැනුම් නිෂ්පාදනය, විශේෂයෙන් ඉංග්‍රීසියෙන් නිෂ්පාදිත දැනුම ඔස්සේ, ජාතිකවාදය සහ එහි නොයෙක් මාදිලි සහ ඒවායේ වෙනස්වීම් පිළිබඳ සැලකිය යුතු ප්‍රමාණයකින් ලිපි ලේඛන පළවී තිබේ. නමුත් ආචාර්ය දිලීප විතාරණ ජාතිකවාදය දෙස බොහෝ විට සිදු වන පරිදි  සාම්ප්‍රදායික ආකාරයකට බලන්නේ නැත. ඔහු කරනුයේ, ජාතිකවාදය යන ගතිකත්වය ‘සංවර්ධන’ හෝ ‘ඉංජිනේරු’ ව්‍යපෘති වැනි ‘විද්‍යාත්මක’ යැයි සිතන අවකාශ සහ කතිකා තුළ මතුවෙන්නේ කෙසේද යන්න  ගවේෂණය කිරීම ය.

ඔහු මෙය කරනුයේ, ප්‍රත්‍යයෙක අධ්‍යයන තුනක් ඔස්සේ ය:

1)  පළමු ප්‍රත්‍යයෙක අධ්‍යයනය නම්, යටත් විජිත යුගයේ ආරම්භ කළ ලක්‍ෂපාන ජල විදුලි ව්‍යාපෘතිය සහ එහි නිර්මාතෘ ඩී.ජී. විමලසුරේන්ද්‍ර පිළිබඳ කරන පුළුල් අධ්‍යයනයකි. විමලසුරේන්ද්‍ර අතිශයින් සුදුසුකම් තිබූ සහ ඔහුගේ යුගයේ බෙහෙවින් ඉදිරිගාමී සහ චින්තනමය වශයෙන් දියුණු ඉංජිනේරුවෙක් විය. නමුත් මේ ව්‍යාපෘතියේ සම්පූර්ණ ප්‍රතිඵල ඔහු එය යෝජනා කළ යුගයේදී අත්කරගත නොහැකි වූයේ, ඉංජින්රු තීරණ හෝ තාක්ෂණික ගැටලු හෝ තීරණ නිසා නොවේ. මෙයට පදනම් වූයේ, මේ ක්ෂේත්‍රයට මුළුමනින්ම පරිභාහිර වූ සංස්කෘතික හා දේශපාලනමය කරුණු විය. මේවා අතර කුල අනන්‍යතාව, බ්‍රිතාන්‍ය හා ලාංකේය වශයෙන් වූ වාර්ගික අනන්‍යතා සහ බල දුරාවලි ක්‍රියාත්මක වීමේදී ඒවා තර්කනයෙන් හා විද්‍යාවෙන් ඔබ්බේ පිහිටි සංස්කෘතික හා දේශපාලන කරුණු මගින් බලපෑමට ලක්වීම වැනි කරුණු තිබුණි.

2) දෙවන ප්‍රත්‍යයෙක අධ්‍යයනය නම්, කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යි. ආචාර්ය විතාරණ පෙන්වා දෙන පරිදි, මෙය ද හුදු සංවර්ධනමය, තාක්ෂණික හා සැලසුම්කරණ ගතිකවලින් ඔබ්බේ පිහිටි ජනවාර්ගික, සංස්කෘතික, අවකාශීය හා ජාතිකවදීමය කරුණුවල බලපෑමට නතු වුණි.  මෙහිදී මහවැලි ජලය බෙදා හැරියේ කෙලෙසද හා කුමන ප්‍රදේශවලටද, ජනාවාස  ඇතිකළේ සහ ඇති නොකළේ කොහිද වැනි කරුණු තීරණය කළේ හුදෙක් තර්කය, විද්‍යාව හෝ සැලසුම්කරණය වැනි තාක්ෂණික කරුණු පමණක් සැලකිල්ලට ගෙන  නොවේ. ඒවාට, සිංහල ජාතිකවාදයේ නොයෙකුත් අවශ්‍යතා සහ දිශානති ඍජුවම බලපෑම් කළ බව ආචාර්ය විතාරණ පෙන්වා දෙයි.

3) තෙවැනි ප්‍රත්‍යයෙක අධ්‍යයනය වන්නේ, රාවණ රජු පිළිබඳව අප රටේ තිබෙන මිත්‍යාමතික, නමුත් ඉතිහාසමය කරුණු ලෙස බොහෝ විට සළකන කතිකාමය තොරතුරු ය.  දිලීප විතාරණ විශේෂයෙන් සලකා බලන්නේ රාවණ යන චරිතය ඔස්සේ වඩාත් මෑත කාලවල විද්‍යාව හා ඉංජිනේරුවේදය පිළිබඳ කියැවෙන කතාබහ සහ මෙය තත්කාලීන ජාතිකවාදී ආඛ්‍යාන අත්පත් කරගෙන ඇත්තේ කෙසේද යන්න යි.

ශ්‍රී ලාංකේය සමාජයීය විද්‍යා හා මානව ශාස්ත්‍ර ක්ෂේත්‍ර සම්බන්ධයෙන් කෘතිය සලකුණු කරන්නේ කුමක්ද?

මේ කෘතිය පළවෙන්නේ අප රටේ සමාජයීය විද්‍යා සහ මානව ශාස්ත්‍ර අතිශයින් ගැටලුකාරී බුද්ධිමය තත්ත්වයක පවතින අවස්ථාවක ය. අප මෙම යථාව කිසි ලෙසකින් හෝ අමතක නොකළ යුතු ය. මා මෙහිදී අදහස් කරනුයේ, මේ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අප රටේ නිෂ්පාදනය කරන බොහෝ දැනුම ගෝලීය මට්ටම්වලට ගෙන යාමට තරම් සුදුසු නැත යන කාරණය යි.  නමුත් මෙයින් අප ර‍ටේ පළකරන පොත්පත්වල අඩුවක් තිබේ යයි මා පවසන්නේ නැත.  මගේ ප්‍රශ්නය නම්, මම දැනට ඉංග්‍රීසියෙන් සහ සිංහෙලෙන් කියවා ඇති පොත් සහ ලිපි ලේඛන දෙස බැලූ විට, ඒවායින් නිපදවන දැනුමෙන් මෙරටට හෝ  ලොවට හෝ නව දැනුමක් දායාද නොකිරීම යි. මම මෙයින් අවධාරණය කරනුයේ ශාස්ත්‍රීය දැනුම යන රචනා ක්ෂේත්‍රය පිළිබඳව පමණි.

මේ ගැටලුවට හේතු ගණනක් තිබේ. එයින් එකක් වන්නේ, විශ්වවිද්‍යාල, පර්ය්යේෂණ ආයතන, පෞද්ගලික හෝ රාජ්‍ය අංශයේ මූල්‍ය සම්පාදකයින්, කේන්ද්‍රීය සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍ර පර්යේෂණ සඳහා උනන්දුවක් නොදැක්වීම සහ ඊට අවශ්‍ය පසුබිම නොසෑදීම ය. අනෙක් කාරණය වන්නේ, කේන්ද්‍රීය දැනුම පළකිරීම සඳහා මේ කාරණය පිළිබඳ මනා දැනුමක් ඇති ප්‍රකාශකයින් අඩු වීම ය. දැනට ප්‍රකාශයට පත් වී ඇති  පොත්පත්වල බහුල වශයෙන් දැක ගත හැකි තාක්ෂණික අඩුපාඩුකම් ඇසුරින් පමණක්  මේ ගැටලුව පහසුවෙන් තේරුම්ගත හැකි ය. තවත් කාරණයක් වන්නේ, කේන්ද්‍රීය පර්යේෂණ කිරීමට හෝ පළකිරීමටඅවශ්‍ය බුද්ධිමය කුතුහලය පර්යේෂකයින්ට නොමැති වීම ය.

දිලීපගේ කෘතිය ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකෙන්ම අපට කිවන්නනට ලැබෙන්නේ මේ අතිශය ගැටලුකාරී තත්ත්වය තුළ ය.  එක් අර්ථයකින්, මෙහිදී මා ‘ගැටලුකාරී’ ලෙස දක්වන්නේ, අප රට අතිශයින් අර්බුධකාරී දේශපාලන සහ ආර්ථික තත්ත්වයකට ඇද දමා, එයින් මේ වන තුරුත් නිසි ලෙසින් නිදහස් වී නැති වෙලාවක් යන අදහසය. අනෙක් අර්ථයෙන්, මා අප රටේ සමාජයීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පිළිබඳ මගේ විවේචනය ඔස්සේ කෙටියෙන් කළ විස්තරය සන්දර්භගත කළ යුතු වන්නේත් මේ තත්ත්වය තුළ ය.

එලෙසම, වඩාත් පුළුල්ව ගතහොත්, අපගේ විශ්වවිද්‍යාල හා අන් බුද්ධි නිෂ්පාදන අඩවි සියල්ලම තිබෙනුයේ මේ අර්බුදවල ආදීනවවලින් යටපත් වී බවද අප දන්නා කාරණයකි. දිලීප විතාරණ සේවය කරන විවෘත විශ්වවිද්‍යාලය පමණක් උදාහරණයක් ලෙස ගතහොත්, කාලයක් මුළුල්ලේ රජය විසින් ඒ සඳහා සපයා තිබූ ප්‍රතිපාදන හදිසි තීරණයක් මත කප්පාදු කිරීමෙන් පැහැදිලි වේ. දැනට බලපවත්වන අසාධාරණ  අදායම් බදු ක්‍රමයත් මේ තත්ත්වයට බලපෑම් කරන බව පැහැදිලි ය. මෙවන් තත්ත්ව යටතේ ජීවත් වීමම විශාල අභියෝගයක් බවට පත්ව ඇති අවස්ථාවක, ලෝකයට දායාද කිරීමට තරම් සුදුසු බුද්ධිමය දැනුමක් නිෂ්පාදනය කරනවා යන්නෙන් අදහස් කරන්නේම, අතිශයින් අපහසු කාර්යයකි.

මේ දුෂ්කර කාර්යය, මේ සියලු ගැටලු එසේම තිබියදීම වඩාත් දියුණු මට්ටමකින් කිරීම සම්බන්ධයෙන් මා දිලීප විතාරණට ස්තුති කළ යුතු ය. මෙහිදී මට වඩාත් වැදගත් වෙන්නේ, මේ ගැටලු මාධ්‍යයේත් අවශ්‍යතාව තිබේ නම් රටටත් ලොවටත් වැදගත් වන ආකාරයේ දැනුමක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇත්තවුන් තවමත්  මෙරට සිටිනවා නේද යන දැනුමයි.

පරිවර්තනයේ දේශපාලනය

මට ඉදිරිපත් කරන්න අවශ්‍ය තුන්වන කරුණ වන්නේ පරිවර්තනයේ දේශපාලනය යන ගතිකය වේ. පරිවර්තනය යන කටයුත්ත අපගේ වැනි සමාජ සම්බන්ධයෙන් මා සලකන්නේ ලිවීමටත් වඩා අතිශයින් වැදගත් කරුණක් ලෙසට ය.  පරිවර්තනය යන ක්‍රියාව දාර්ශනික අර්ථයෙන් දේශපාලනය පිළිබඳ කාරණයක් මෙන්ම බලය පිළිබඳ කාරණයක් ද වේ. එය මිනිසුන්ට වෙනත් ආකාරයකින් ප්‍රවේශ වෙන්න අපහසු, නැතිනම්, කිසි ලෙසකින් හෝ ප්‍රවේශ විය නොහැකි අදහස් හා අත්දැකීම් වෙත ප්‍රවේශ වීමට අවකාශ සලසන මාධ්‍යයකි.

මේ අර්ථයෙන් ගත් විට,  වෝල්ටර් බෙන්ජමින්ගේ පහත සඳහන් අදහස සමඟ මම සම්පුර්ණයෙන්ම එකඟ වන්නෙමි: “පරිවර්තකයාගේ කාර්යභාරය වන්නේ, වෙනත් ස්වාධීන බසක ආධිපත්‍යයට නතුව තිබෙන අදහස්, එය සිරගත වී සිටින බසින් මුදවාගෙන එය තමන්ගේ බසින් නැවත ප්‍රතිනිර්මාණය කිරීමය.” එනම්, පරිවර්තනය හුදෙක් එක් භාෂාවක සිට වෙනත් භාෂාවකට අර්ථ පිටපත් කිරීම පමණක් නොවේ. ඒ කටයුත්ත කරන අතරම, පරිවර්තන ක්‍රියාව මගින් නව නිර්මාණයක් සම්පාදනය කරනු ලැබේ. ඒ පරිවර්තිත කෘතිය වේ. පරිවර්තන භාවිත කරන ස්ථානවල වෙනත් බසකින් ලියූ  මුල් කෘතියට වඩා පරිවර්තනයට විශාල බලයක් ලැබේ. දිලීප විතාරණගේ කෘතිය ශ්‍යාමා බස්නායක පරිවර්තනය නොකළා නම්, අප අතර සිටින බොහෝ දෙනාට ඔහුගේ අදහස්  දැනගැනීමට අවකාශ ලැබෙන්නේ නැත.

මේ අර්ථයෙන් ගත් විට, පරිවර්තන ක්‍රියාවලිය විමුක්තිදායක ක්‍රියාවක් බව පැහැදිලි ය. එනම්, එක් භාෂාවක් තුළ අඩස්සිගත වී තිබෙන අදහස් එයින් මුදවාගෙන වෙනත් භාෂා අවකාශයක් තුළ නිදහසේ සැරිසැරීමට ඉඩ සැලසීමයි. මෙය විශේෂයෙන් වැදගත් වන්නේ, මුල් කෘතිය නොකියවා පරිවර්තනය පමණක් කියවීමේ ප්‍රවණතාව බෙහෙවින් වැඩි අවස්ථාවලදී ය. අප රටේ සාමාන්‍යයෙන් සිදුවන්නේත්, මේ කෘතිය සම්බන්ධයෙන් සිදු වන්නේත් මෙයයි.

බ්‍රෙන්ඩා සහ චාර්ල්ස් සෙලිග්මාන් ගේ Veddas කෘතිය මුලින්ම පළ වූයේ  1911 දී. නමුත්, චන්ද්‍ර ශ්‍රී රණසිංහ විසින් කළ එහි සිංහල පරිවර්තනය ප්‍රකාශයට පත් වූයේ  ඊට අවුරුදු සියකට පස්සේ 2010 දී. ගණනාථ ඔබේසේකරගේ The Cult of the Goddess Pattini ඇතුළු ඔහුගේ අන් සියලු පොත්, එච්.එල්. සෙනෙවිරත්න ගේ Rituals of the Kandyan State සහ ඔහුගේ අන් බොහෝ රචනා, එස්.ජේ. තම්බයියාගේ ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගත් කිසිම රචනයක් හෝ මේ වන තුරු ද පරිවර්තන ලෙස සිංහලෙන් පළ වී නැත  නැහැ. මීට වඩා මෑත අතීතයේ දී මා ලියූ එකම පොතක් හෝ මේ වන තුරු ද සිංහල බසින් පළ වී නැත. නමුත් මේ සියල්ලම අප රට කේන්ද්‍ර කරගෙන කළ පර්යේෂණවල ප්‍රතිඵල ය. අවාසනාවකට, මේ එකම කෘතියක් හෝ මෙරට සිටින බොහෝ දෙනාට කියවන්න ලබෙන්නේ නැත.

මෙවන් බුද්ධිමය වශයෙන් අතිශයින් ගැටලුකාරී තත්ත්වයක, 2022 දී ඉංග්‍රීසියෙන් පළකළ දිලීප විතාරණගේ මුල් කෘතියේ සිංහල පරිවර්තනය අවුරුදු තුනක් ඇතුළත සිංහලෙන් පළකිරීම බෙහෙවින් වැදගත් කටයුත්තකි. එලෙසින්ම, 2018 දී පළකළ  හර්ෂණ රඹුක්වැල්ලගේ The Politics and Poetics of Authenticity: A Cultural Genealogy of Sinhala Nationalism යන කෘතිය වසර 6ක පමණ කාලයක් තුළ  සිංහලෙන් පළ කරීම ද බොහෝ වැදගත් කටයුත්තකි. මා මේ උදාහරණ දෙක ගෙනහැර දැක වූයේ වැදගත් ප්‍රවණතාවකට උදාහරණ වශයෙනි. එනම්, අප සමාජය පිළිබඳ ලියැවුණු පොත පත මින් මතුවට හෝ වඩාත් වේගයෙන් අපගේ භාෂාවලින් අප සමාජයට ගෙන ආ නොහැකිද යන ප්‍රශ්නය මතු කිරීමට ය. මේ කටයුත්තට අවශ්‍ය ආයතනික සහ ප්‍රතිපත්තිමය නායකත්වය සපයන්න, නැත්නම් මූල්‍යය පහසුකම් වැනි දේ සම්පාදනය කිරීමට අවශ්‍ය පසුබිම සකසන්න පවතින ආණ්ඩුවටවත් බැරිද යන ප්‍රශ්නය අවසන් වශයෙන් මතු කිරීමට  මා කැමැත්තෙමි. මේ ප්‍රවණතාව යම් ලෙසකින් හෝ ඉදිරියට පවත්වාගෙන යා හැකි නම්, අවම වශයෙන් දේශීය සහ ගෝලීය වශයෙන් වැදගත් තෝරගත් කෘති කිහිපයක් හෝ සැම වසරකම සිංහලෙන් පල කළ හැකි නම්, දැනුමේ දේශපාලනය වඩාත් ප්‍රජාතාන්ත්‍රීය  කිරීම සම්බන්ධයෙන් වඩාත් ප්‍රබල  උත්තේජයක් ලබා දෙනු ඇත.

    ආචාර්ය සසංක පෙරේරා

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT