Home » අමෙරිකානු බද්ද නොකළ යුතුද සද්ද

අමෙරිකානු බද්ද නොකළ යුතුද සද්ද

by Gayan Abeykoon
April 9, 2025 4:09 pm 0 comment

අප්‍රේල් 2 වැනිදාට යෙදුණු අමෙරිකා ” නිදහස් දිනයේදී ” (Liberation Day) ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  ප්‍රකාශයට පත්කළ  විධායක නියෝගය පිළිබඳ මේ වනවිට ලෝකයේම අවධානය යොමුවී තිබේ. එරටට ආනයනය කරන භාණ්ඩ සඳහා පනවන නව තීරුබදු සම්බන්ධයෙන් එය අදාළ වේ. ස්ථර දෙකකින් යුතුව එම බදු පැනවීම සිදුවූ අතර අමෙරිකාව සමඟ වෙළෙඳ සම්බන්ධතා පවත්වන ලොව සියලු රටවලට අදාළවන පරිදි පැනවූ 10% ආනයන බද්ද අප්‍රේල් 5 වැනිදා සිට ක්‍රියාත්මක විය. ද්විපාර්ශවික වෙළෙඳාමේ දී අමෙරිකාවට අවාසිදායක වෙළෙඳ හිඟයක් පවතින හෝ  අමෙරිකාවෙන් භාණ්ඩ ආනයනයේ දී ඉහළ බදු අයකරන රටවල් 60 කට ආසන්න සංඛ්‍යාවකට බලපාන පරිදි පැනවූ “අන්‍යෝන්‍ය තීරු බද්ද” (Reciprocal Tariffs) අද (අප්‍රේල් 9 ) පටන් ක්‍රියාත්මක වේ. ට්‍රම්ප් එය හඳුන්වා දුන්නේ වට්ටමක් සහිතව (Discounted) පනවා ඇති අන්‍යෝන්‍ය තීරුබද්දක් යනුවෙනි. මෙම නව බදු නියෝගය ප්‍රකාශයට පත්කරමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ, අමෙරිකාවේ කර්මාන්ත ක්ෂේත්‍රය නව ජීවයක් ලැබූ දිනය වශයෙන් එදින ඉතිහාසගත වනු ඇති බව ය. එමෙන්ම මේ නිදහස් දිනය  අමෙරිකාව ආර්ථික නිදහස දිනාගත් දිනය වනු ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

මෙම දෙවන කාණ්ඩයට අයත් රටවල් අතර ශ්‍රී ලංකාව සහ අමෙරිකාව සමඟ වෙළෙඳ සබඳතා පවත්වන රටවල් ගණනාවක් සිටී. පළමුව ඒ ඒ රටවලට ද අනතුරුව ආසියානු ආර්ථිකයට සහ අවසාන වශයෙන් ගෝලීය ආර්ථිකයට එය ඇතිකරන බලපෑම හමුවේ මේ වනවිට ඒ අරබයා ආර්ථික ක්ෂෙත්‍රයේ පුළුල් සංවාදයක් පවතී. මෙය අමෙරිකාවට හිතකර තීරණයක් වනු ඇතැයි මත පළ වෙද්දී එය අවාසිදායක වනු ඇති බවට ද තර්ක ඉදිරිපත් වෙමින් ඇත. අප්‍රේල් 5 වැනිදා පළමු වටය ක්‍රියාත්මක වී පැය කිහිපයක් ඇතුළත අමෙරිකා කොටස් වෙළෙඳපොළ ද ඇතුළුව ආර්ථික  බලවතුන් වන රටවල් කිහිපයකම කොටස් වෙළෙඳ පොළ පසුබෑමට ලක්විය.  අමෙරිකාවේ ප්‍රධාන දර්ශක තුනම එනම්, S&P, Dow, Nasdaq පහත වැටුණු අතර, බ්‍රිතාන්‍ය කොටස් වෙළෙඳ පොළ කොවිඩ් වසංගතයත් සමඟ ඇතිවූ පසුබෑමෙන් වසර 5 කට පසුව සියලුම දර්ශක වල අඩුම අගයන් පෙන්නුම් කළේ ය. එම විචල්‍යයන් මෙවැනි තත්ත්වයක් යටතේ අපේක්ෂා කළ හැකි ය. ඒ ඔස්සේ වර්ධනය වන දීර්ඝ කාලීන බලපෑම් වඩාත් අවධානය යොමු විය යුතු තත්වයයි. මෙම තීරණයත් සමඟ ගෝලීය වශයෙන් වෙළෙඳ යුද්ධයක් (Trade War) ඇතිවීමේ අවධානමක් පිළිබඳ මේ වනවිටත් මත පළවෙමින් තිබේ.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක්ම 40% ඉක්මවූ නව බදු අනුපාතයන්ට මුහුණදී සිටී. එය දැනට පැවැති බදු තුන් හතර ගුණයකින් ඉහළ යාමකි. නිදසුනක් ලෙස ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන සඳහා එනම්, අපගේ අපනයන මත මෙතෙක් අමෙරිකාව අය කළේ 12.5% බද්දක් වන අතර නව බද්ද 44% කි. මේ වැඩිවීම තුන්ගුණයද ඉක්මවා ඇත්තේ ය. ජනාධිපති ට්‍රම්ප් ගේ අන්‍යෝන්‍ය වට්ටම් බදු යන හැඳින්වීම අනුව බලන විට මෙහිදී සිදුව ඇත්තේ, ශ්‍රී ලංකාව අමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ  සඳහා අයකරන 88% ක බද්දෙන් අඩක් එනම්, 44% ක් අපමත පැනවීම ය. චීනය අමෙරිකා භාණ්ඩ සඳහා අයකළ බද්ද 67% ක් වූ අතර මේ යටතේ, චීනයට ගෙවීමට සිදුවන බද්ද 34% කි. චීනය මීට වහා ප්‍රතිචාර දැක්වූයේ,අමෙරිකාවෙන් ගෙන්වන භාණ්ඩ සඳහා 20% කින් බදු ඉහළ දමමිනි. ඒ අනුව අමෙරිකා ආනයනික භාණ්ඩ මත වීනයේ බද්ද 87% වනු ඇත. චීනය කළ පරිදි කැනඩාව ද අමෙරිකාවට එකට එක කිරීමට සූදානමින් සිටී. කලාපීය ආර්ථික බලවතා වන ඉන්දියාව 2024 දී අමෙරිකාවට ඇ.ඩො.බිලියන 77.5 ක අපනයන සිදුකළේ , 2% ටත් අඩු බදු අනුපාතයක් යටතේ ය. ඉන්දියාව මත පනවා ඇති නව බදු ප්‍රතිශතය 27% කි. සෙසු ආසියානු රටවලට සාපේක්ෂව එය සහනදායක ය.

ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවිය හැකි තත්ත්වය ද්විපාර්ශවික වෙළෙඳාමේ වර්තමානය දෙස බලන විට තේරුම් ගත හැකිය.  2024 වසරේ දී එම ද්විපාර්ශවික වෙළෙඳාම ඇ.ඩො.බිලියන 3.4 කි. ඉන් ඩොලර් බිලියන 3 ක්ම අපගේ අපනයන මඟින් අප උපයාගන්නා විදේශ විනිමය වන අතර, ඇ.ඩො.මිලියන 400 පමණ අමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අප ගෙවන විනිමය යි. 2018 වසරේ පමණ සිට මෙම දත්ත විමසන විට සෑම වර්ෂයකදීම අපනයන වර්ධනය වී ඇති අයුරු දිස් වේ. ආනයන ද ඉහළ ගොස් ඇතත් පැහැදිළිවම පෙනෙන පරිදි වෙළෙඳ හිඟය ( ආනයන – අපනයන පරතරය) ඇත්තේ අපට ඉතා වාසිදායක අන්දමිනි.

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනයෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් ඇඟලුම් ය. අපේ රටට විදේශ විනිමය ලැබෙන දෙවැනි විශාලම මාර්ගය ඇඟලුම් කර්මාන්තය යි. 2024 දී ශ්‍රී ලංකාව ඉන් ඉපැයූ විනිමය ඇ.ඩො.බිලියන 1.9 කි. ඉනුත් අපගේ විශාලම  ඇඟලුම් ගැනුම් කරුවා වන්නේ අමෙරිකාව ය. අපේ ඇඟලුම් කර්මාන්තයේ නියැළෙන සේවක සංඛ්‍යාව 350,000 ඉක්මවන්නේ ය. මෙරට ඇඟලුම් කර්මාන්ත ක්ෂෙත්‍රයේ හා එම සංසදවල අවධානය මෙන්ම ජාත්‍යන්තර අවධානය ද මේ කෙරෙහි යොමුව තිබේ. රටවල් 40 ක් පමණ නියෝජනය කරන ජාත්‍යන්තර ඇඟලුම් සම්මේලනය දක්වන පරිදි මෙය එම ක්ෂේත්‍රයට එල්ල වූ ප්‍රබල කම්පනයකි.

අමෙරිකාවට ඇඟලුම්  අපනයනය කරන තවත් ප්‍රධාන රටක් වන බංග්ලාදේශය මත පනවා ඇති බද්ද 37% කි. එය අපට වඩා අඩුවන බැවින් වෙළෙඳපොළ තරඟකාරිත්වයේ මෙම නව තත්ත්වයන්ට අභියෝගාත්මකව මුහුණ දීමට අපට සිදුවේ. අමෙරිකාවට ප්‍රමුඛ වශයෙන් පාවහන් අපනයනය කරන වියට්නාමය මත 46% ක බදු පනවා තිබේ. මේ වනවිට  වියට්නාමය ලබාගත හැකි සහන පිළිබඳ අවධානය යොමුකර ඇත. ශ්‍රී ලංකාව ද කමිටුවක් පත්කර ඇත්තේ ගතහැකි ඉදිරි ක්‍රියාමාර්ග වෙත යොමුවීම පිණිසය.

නව බදු ආසියානු හා දකුණු ආසියානු රටවල   ආර්ථිකය කෙරෙහි ඇතිකරනු ඇති බලපෑම ගැන ආර්ථික විශ්ලේෂකයන්ගේ ද වැඩි අවධානයක් යොමුව තිබේ. ඒ අමෙරිකාව ඇඟලුම්, පාවහන් වැනි නිෂ්පාදන මුළුමනින්ම පාහේ එම රටවලින් ආනයනයකරන බැවිනි. ශ්‍රී ලංකාවේ තේ හා රබර් කර්මාන්තයට ද නව බදු නීති බලපෑම් සහගත වන බව පෙනීයන්නේ ය. එම ක්ෂෙත්‍ර වල මේ වනවිටත් එය සංවාදයට ලක්ව පවතින්නේ ගතහැකි ක්‍රියාමාර්ග විමසීම වෙනුවෙනි. අමෙරිකාවට මෙරට ස්වභාවික රබර්  කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන ගණනාවක්ම අපනයනය කෙරෙන අතර,ඉන් සැලකිය යුතු විනිමයක් ද සපය යි. 2023,2024 වසරවල ස්වභාවික රබර් වලින් ඉපැයූ අපනයන ආදායම වාර්ෂිකව ඇ.ඩො.මිලියන 1.2 කි.රබර් කිරි කැපීමේ හා කිරි එකතුකිරීමේ කර්මාන්තයේ යෙදෙන සංඛාව 150,000 ඉක්මවන අතර ඉන් බොහොමයක් ග්‍රාමීය ප්‍රජාව ය.

මෙලෙසම ,”සිලෝන් ටී” සඳහා  අමෙරිකාවේ ඇති ඉල්ලුමට ද නව බදු බලපෑම් සහගත වේ. එරටට තේ අපනයනයේ යෙදෙන කෙන්යාව වැනි අපට වඩා අඩු බද්දක් පැනවී ඇති රටක් සමඟ අපට තරඟ කිරීමට සිදුවන්නේ මිල සාධකය මත ය. මේ උදාහරණ වලින් පෙනෙන්නේ එය ඇඟලුම් සේවක, කිරි කැපීමේ යෙදෙන, තේ දළු නෙළන වශයෙන් එම බිම් මට්ටම දක්වා බලපාන බව ය.  නව බදු මෙම අපනයන සඳහා පමණක් නොව සැම අපනයන භාණ්ඩයක් සඳහාම අදාළ වේ. එබැවින් එය සමස්ත අපනයන ක්ෂෙත්‍රයටම බලපෑම් සහගත ය. අවසාන වශයෙන් එම සමස්ත බලපෑම රටේ ආර්ථිකයට ය.

නව බදු නියෝග ක්‍රියාත්මක කිරීම මඟින් ජනාධිපති ට්‍රම්ප් වෑයම් කරන්නේ අමෙරිකාව නැවතත් පොහොසත් රටක් ලෙස ඔසොවා තැබීමට ය. ආනයන මත බදු ඉහළ දැමීමත් සමඟ  අමෙරිකානුවන් එරට නිෂ්පාදන සඳහා දිරිගැන්වීම මඟින් කර්මාන්ත ක්ෂේත්‍රයේ උන්නතිය ද ට්‍රම්ප්ගේ අරමුණකි. කෙසේ වුවද , තවදුරටත් එහි නිෂ්පාදනය නොකරන භාණ්ඩ ආනයනය ඔවුන් කළ යුතුවේ. එවැනි භාණ්ඩ මිල ඉහළයාම අමෙරිකානුවන්ගේ කුටුම්බ ආර්ථිකයට දැනෙන කාරණයක් වන අතර එය එරට ආර්ථික වර්ධන වේගයට ද බලපාන්නා වූ කාරණයකි. ඉකුත් ජනවාරියේ දී ධවල මන්දිර ආර්ථික උපදේශක පුරෝකථන කළේ මේ වසරේ බදු ආදායම ඇ.ඩො.බිලියන 600 වනු ඇති බව ය.

ජනාධිපති ට්‍රම්ප් 1980 ගණන්වල පටන්ම ගෙන ආ ප්‍රධාන තර්කයක් වන්නේ අමෙරිකා ආර්ථිකය ගොඩනැඟිය හැකිවන්නේ බදු මඟින් බව ය. දැන්, දෙවැනි වරට ද එරටට නායකත්වය දෙමින් ඔහු වෑයම් කරමින් සිටින්නේ අමෙරිකාව යළිත් ශ්‍රේෂ්ඨ රාජ්‍යයක් කිරීමට ය. එහි දී ඔහු සැමවිටම පිහිටා සිටින පිළිවෙත වී ඇත්තේ,” අමෙරිකාව පළමුව ” යන්න ය. මේ පිළිවෙත ඔහු සිය මැතිවරණ ප්‍රකාශනයේ ද ඉදිරිපත් කළ, අමෙරිකානුවන් අනුමත කළ පිළිවෙත ය. ඒ ඔස්සේ ඉදිරියට යද්දී එරට සමඟ ගනුදෙනු කරන රටවලට සිය ආර්ථිකයේ වර්ධනය අරබයා එරට සමඟ සහයෝගයෙන් ඵලදායී  මෙන්ම ප්‍රායෝගික ක්‍රියාමාර්ග වෙතට නොපමාව යොමුවීමට සිදුවනු ඇත.

මේ තත්ත්වය වෙළෙඳ යුද්ධයක් දක්වා වර්ධනය වුවහොත් ආර්ථික අභියෝගය අසීරුවෙන් කළමනාකරණය කරගනිමින් නැඟී සිටින අප වැනි රටවල් නොවැටී සිටීමට ගතයුතු පියවර එහි ඉහළින් තිබිය යුතුවේ.

 

  ධම්මික සෙනෙවිරත්න

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT