සිංහල හා ද්‍රවිඩ අලුත් අවුරුදු සමය එළඹෙමින් තිබේ. අප එකිනෙකාට සුබ පතා ගන්නා අතර ම හැකි පමණින් කා බී විනෝදවීමත් මේ මොහොතේ අමුතු අත්දැකීමක් නොවේ. අත මිට මුදල් නොමැති බවට මැසිවිලි නැඟුණද, ප්‍රධාන වීදිවල ඉහළ පෙළ රෙදිපිළි සාප්පු ජනාකීර්ණ වී තිබීම සුලබ දසුනකි. එය හුදෙක් ණය වී හෝ අවුරුදු සැමරීමක් බවට ඌනිතව කියවා ගත යුත්තක් නොව උත්සව සමයේ සාමූහික ජන විඥානයේ ප්‍රකාශනයකි.
පැරණි ග්‍රහ තාරකා ඇදහීමේ ක්‍රියාවලියේ පරිවර්තිත වත්මන් මොහොතක් ලෙස අවුරුදු චාරිත්‍ර සැලකිය හැකි ය. රටම එක් මොහොතක, එක ලෙස, එක් ක්‍රියාවක් කෙරෙහි අවධානය යොමු කිරීම හුදු නැකැත් ශාස්ත්‍රය කරපින්නාගෙන යාමක් නොවේ. ජාතික සංස්කෘතික නිමේෂයකි. අනේකවිධ වෙනස්කම් තුළ මහා පොදු සාධකයක් සංකේතවත් කිරීමකි.
මෙවැනි ඒකාත්මික අවස්ථාවන් එකිනෙකා පරයා නැඟී සිටීම වෙනුවට එකිනෙකා සමඟ නැගිටීමේ සාමූහික ජන විඥානයක් දක්වා පරිවර්තනය කළ හැකි නම් අවුරුදු සමය පමණක් නොව ඉදිරි වසර ගණනාවක්ම ‘අලුත්’ කර ගැනීමටත් ‘සුබ’කර ගැනීමටත් හැකිවනු ඇත. යතුර ඇත්තේ අප අතම ය. දොර ඇත්තේ අප අසලම ය.