පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ තොරතුරු රැස් කළ පර්යේෂණයක පර්යේෂිකාවක වශයෙන් 2016 දී මට කටයුතු කිරීමට ඉඩ ලැබුණි. මේ එහිදී මට අසන්නට ලැබුණු කතාවකි. මෙම කතාව නැඟෙනහිර පළාතේ දෙමළ මවක විසින් අපට හෙළිකළ කතාවකි. කතාව කීම සඳහා ඇයට බොහෝ වීරිය අවශ්‍ය වූ අතර, කතාව අතරතුර ඇය නිරන්තරව කඳුළු සැලුවාය.
ඇයගේ පුතා අතුරුදහන් වී සිටි අතර, ඇයගේ අසල්වැසියන්ට අනුව, ඔහු යම් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් තිබුණි. පුතා පැහැරගත් බවට වූ පුවත ඇසීමෙන් පසු, ඇය තම පුතා සෙවීමට පටන් ගත් අතර පැමිණිල්ලක් කිරීමට පොලිස් ස්ථානය වෙත ගොස් ඇත. කෙසේ වෙතත්, පොලිසිය එම පැමිණිල්ල භාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් ඇයව ප්‍රදේශයේ වෙනත් හමුදා කඳවුරක් වෙත යොමුකරවා තිබේ. හමුදා කඳවුරේදී, ඇයව නිලධාරියෙකු වෙත යොමු කිරීමෙන් පසු අදාළ නිලධාරියා විසින් ඇයව විසිරී ගිය මස් හා ලේ පැල්ලම් සහිත කාමරයකට කැටුව ගොස් ඇත. එවිට නිලධාරියා කාමරයට ඇඟිල්ල දිගු කරමින් කාන්තාවට පවසා ඇත්තේ, ‘මේ ඔබේ පුතා’ යනුවෙනි.
තවත් අවස්ථාවක, එම පර්යේෂණයටම අදාළව අපි කුරුණෑගල ප්‍රදේශයේ පර්යේෂණ කටයුතුවල යෙදෙමින් සිටියෙමු. එහිදී, සුදු සාරියක් ඇඳගත් වයෝවෘද්ධ මවක් අප වෙත පැමිණ ඇගේ කතාව පැවසුවා ය. ඇය පැල්ලම් සහිත ලියුම් කවරයක් අතැතිව සිටි අතර, ඇගේ පුතා හා සම්බන්ධ යම් කඩදාසි කැබැල්ලක් එම ලියුම් කවරයෙන් ප්‍රවේශම් සහිතව එළියට ගත්තේ කඳුළු පිරි දෑසිනි. ඇගේ කතාවට අනුව, ඇයගේ පුතා 1989 දී යම් කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් තිබූ අතර, ඔහු නැවත පැමිණ නැත. එම සිදුවීමෙන් අවුරුදු 17ක් ගතව තිබුණත්, ඇය තවමත් පුතා සෙවීම නතරකර තිබුණේ නැත.
බොහෝ කලක් තිස්සේ මේ කතා දෙක මා මනසේ හොල්මන් කරයි. මෑත කාලීනව බටලන්ද කොමිෂන් වාර්තාව කරළියට පැමිණීමත්, රාණී චිත්‍රපටය හරහා බලහත්කාර අතුරුදහන් කරවීම් පිළිබඳ විශාල කතා බහක් ඇතිවී තිබීමත් නිසා, අතුරුදහන් කිරීමේ දේශපාලනය කතිකාව ඉස්මතුවී තිබේ. අමතකකර දමා තිබූ මෙම අතුරුදහන් කිරීම් පිළිබඳ යළි මහජන අවධානයකට ලක්ව ඇත. මේ අනුව, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ සහ ඒ වටා ඇති දේශපාලන ගතිකත්වය සාකච්ඡා කිරීම කාලෝචිත ය.
බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම බොහෝ විට බිය වැද්දීමේ සහ සමාජය තුළ අනාරක්ෂිත බව නිර්මාණය කිරීමේ උපාය මාර්ගයක් ලෙස භාවිත කරනු ලැබේ. අතුරුදහන්වූ පුද්ගලයින්ගේ පවුල් වලට සිදුවන මානසික බලපෑම අති මහත් ය. නමුත්, අතුරුදහන් කිරීම්වල බලපෑම, අතුරුදහන් වූ පුද්ගලයින්ගේ පවුලේ සාමාජිකයින්ට හෝ ආසන්නතමයින්ට සිදුවන ඍජු බලපෑමෙන් ඔබ්බෙහි පවතියි. එය සමස්ත සමාජයටම බලපාන, වඩාත් පැතිරුණු භීතියේ වාතාවරණයක් නිර්මාණය කරයි. එමගින් සමාජයේ පවතින විශ්වාසය සහ සහජීවනය අඩපණ කරයි. අතුරුදහන් කරවීම හරහා ඇතිකරන තර්ජනය සමස්ත සමාජය පුරා පැතිර පවතින අතර, එය මුළු සමාජයේම පැතිරුණු දැඩි කාංසාවක් ඇති කරයි. එමෙන්ම සමාජයේ පර්යාය පවත්වාගැනීමට අත්‍යවශ්‍යවන, ආරක්ෂාව පිළිබඳ හැඟීම නැතිකර දමා අනාරක්ෂිත බවක් නිර්මාණය කරයි. එම අනාරක්ෂිතතාව සහ සාංකාව හරහා ජනතාව නිශ්ශබ්දතාවට ඇද දමන අතර, ජනතා ක්‍රියාකාරිත්වය අධෛර්යමත් කරයි. අවසාන වශයෙන් ඒ හරහා, අයුක්තියට එරෙහි ප්‍රතිවිරෝධය දැක්වීම අහුරා දමයි.
තම දරුවාගේ, සොයුරාගේ, පෙම්වතාගේ හෝ සොයුරාගේ මළ සිරුරක් නොදැකීම නිසා, අතුරුදහන් වූවන්ගේ ආදරණීයයෝ වසර ගණනාවක් තිස්සේ එම පුද්ගලයා නැවත පැමිණේය යන බලාපොරොත්තුවෙන් පසු වෙයි. එම විශ්වාසය දරාගෙන ජීවත් වෙයි. එනම්, තවමත් අවසානයක් දැක නොමැතිකම හේතුවෙන් නිරන්තර අවිනිශ්චිතතාවයෙන් පෙළෙන මෙම පවුල්වල සාමාජිකයින් විශාල වේදනාවකින් පසු වෙයි. භූමදාන කිරීමට, ආදාහනයක කිරීමට හෝ බදා හඬමින් වැලපීමටවත් මියගිය සිරුරක් නොපැවතීම හේතුවෙන්, සෙවීම දිගටම සිදුකරගෙන යාම දැකිය හැකි ය. ශරීරයක නොපැවැත්ම, භෞතික ශරීරයෙන් ඔබ්බට විහිදෙන අතර, එම තත්ත්වය පුද්ගලයාගේ පවුල්වල හිස්බවක්ද සංකේතවත් කරයි.
1989දී කුඩා දරුවෙකු ලෙස මාගේ අත්දැකීම් වඩාත් බියජනක ය. ඒ කාලය පිරී පැවතියේ මට අවබෝධකරගත නොහැකි ආකාර ශබ්ද සහ දර්ශන වලිනි. නමුත් ඒ බියකරු සහ ගුප්ත කාලය පිළිබඳ හැඟීම මා තුළ මරණය දක්වාම පවතිනවා ඇත. ගිනිගෙන දැවී අවසන්ව බොහෝ වෙලාවකට පසුත්, වාතලයට මුසුව තිබූ දැවුණු ඝන රබර් වල සුවඳ තවමත් මට මතක ය. දැවෙමින් තිබූ ටයර් සෑ, ලංකාවේ තවත් බොහෝ ප්‍රදේශ වලට මෙන්ම, මා ජීවත් වූ ප්‍රදේශයටත් ආගන්තුක දෙයක් නොවී ය. දැවෙන රබර් ටයර් අතරින් පිළිස්සෙන සිරුරක ඡායාද මගේ මතකයේ ඇත. ඒවා සම්පුර්ණයෙන්ම දෘශ්‍ය නොවූයේ වුවත්, සම්පුර්ණයෙන්ම අදෘශ්‍ය වූවේත් නැත. එවැනි දැවෙන ගිනි ගොඩක් දුටුවිට, ඒ දෙස නොබලන ලෙසට මගේ දෙමව්පියන්ගෙන් නිතර අවවාද ලැබුණත්, කුතුහලය සහිත කුඩා මනසකට එම අවවාද සම්පුර්ණයෙන්ම පිළිගත නොහැකි වූවා විය හැකි ය. යම් (නො)වැදගත් දෙයක් සිදුවන බව මම දැන සිටියෙමි. එය කුමක්දැයි අවබෝධකරගත නොහැකි වුවත්, ඒ අවාසනාවන්ත සිදුවීම් මා හුස්මගත් වා තලයට මුසුව තිබුණි. එම කළු දුමාරය, අමුතු පුසුඹ, ගිනි දැල් සහ සිරුරු, මට වචනයට නැඟීමට බැරි තරම් විශාල දෙයක් බව මට ඒත්තු ගොස් තිබුණි. මෙම ටයර් සෑ අතර ගිනිගෙන දැවෙමින් තිබූ මළ සිරුරු වලින්, එවකට ආණ්ඩුව ජනතාව, විශේෂයෙන්ම රාජ්‍ය ප්‍රශ්නකරන හෝ රාජ්‍යයට අභියෝග කරන තරුණ කොටස් වෙත ප්‍රදර්ශනාත්මක තර්ජනයක් නිකුත් කරන ලදි.
අපරාධයට ලක්වූ ශරීරයක් නොමැති වීම, යුක්තිය කෙරෙහි ඇති ප්‍රවේශය අවහිර කරනු ලබයි. අපරාධය පිළිබඳ භෞතික සාක්ෂි නොමැති වාතාවරණයක් තුළ යුක්තිය පෙනුණේ කිසිදා ළඟාවිය නොහැකි ගමනාන්තයක් ලෙසිනි. සිරුරකින් තොරව, අපරාධය පිළිබඳ සාක්ෂි මතුනොව අපරාධයක් සිදුවූවාද යන්නවත් ඔප්පුකළ හැකි සාක්ෂි නොවී ය. මේ තුළින්, අතුරුදහන් වූවන්ගේ පවුල් නිහඬකරවීම සහ ඔවුන්ට යුක්තිය වෙත යාමට තිබූ සියලු මාර්ග අවහිරකර තැබීමකි.
ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් යනු තමන්ව තෝරා පත් කර ගන්නා ජනතාවට සේවය කිරීමට සහ ආරක්ෂාව සළසා දීමට බැඳී සිටින ව්‍යුහයක් මිස, ජනතාව ප්‍රචණ්ඩත්වයට, බියට හෝ පීඩනයට පත් කිරීමට අයිතිය ඇති ව්‍යුහයක් නොවෙයි. කුමන තත්ත්ව හෝ කොන්දේසි යටත් වුවත්, කිසිදු රජයකට, තම පුරවැසියන් අතුරුදහන් කිරීමට අයිතියක් නැත. රජයක් යනු ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ව්‍යුහයක් වන අතර එය අධිකාරය ලබන්නේ එහි පුරවැසියන්ගෙනි. ඒ හේතුවෙන් රජයක්, එම පුරවැසියන්ගේ අයිතිවාසිකම්, නිදහස සහ ජීවිත ආරක්ෂා කිරීමට බැඳී සිටියි. රජයක් තම රටේ පුරවැසියන් අතුරුදහන් කරන විට, මරා දමන විට, එම රජය පිහිටුවන ලද මූලික ජනතා පරමාධිපත්‍යයේ මූලධර්ම උල්ලංඝණය කරනු ලබයි. ඒ හරහා රාජ්‍ය මානව හිමිකම් කඩකරන අතර, නීතියේ ආධිපත්‍යය බිඳ වැට්ටවීම හරහා, අරාජිකත්වයක් කරා ගමන් කරයි. ඒ අනුව, මෙම තත්ත්වය සමස්ත සමාජයේම බිඳ වැටීමට හේතු වෙයි.
ආචාර්ය අනුෂ්කා කහඳගමගේ