Home » අළු මතින් නැඟිටපු මිනිස්සු

අළු මතින් නැඟිටපු මිනිස්සු

by Gayan Abeykoon
April 9, 2025 4:13 pm 0 comment

ඔවුන් පුරාවෘත්තගත ෆීනික්ස් කුරුල්ලන් මෙනි. ෆීනික්ස් උපදින්නේ ගින්දරෙනි. එමෙන්ම මේ මිනිස්සු ද වාස්තවික තත්ත්වයන්ට වහ වහා අනුවර්තනය වුහ. මක්නිසාද පැවත්ම තිබුණේ එතැන ය. අප කියන්නට  යන්නේ ස්පාඤ්ඤයට අයත් කැනරි දුපත්වල විසූ විශිෂ්ට මිනිසුන් කණ්ඩායමක් පිළිබඳව ය.

මෙම අසම්භාව්‍ය දූපත් සමූහය ස්පාඤ්ඤයට අයත් කලාපයකි. නමුත් භූගෝලීය හා භූ විද්‍යාත්මකව එය අප්‍රිකාවේ කොටසකි. මොරොක්කෝවේ නිරිතදිග වෙරළට සැතපුම් 60 ක් පමණ දුරින් පිහිටා ඇත. කැනරි දූපත් වල පිහිටි lanzarote යනු අදටද විශාල ගිනිකඳු පාෂාණ, සුන්බුන් සහ අළු ගොඩකි. නමුත් එයින් ලොව හොඳම රසැති වයින් කිහිපයක් පැමිණේ. 1730 පටන් 1824 දක්වා දිගින් දිගටම පැවති ගිනිකඳු පිපිරීම් මාලාවකින් කැනරි දුපත් සමුහයේ ගම්මාන රාශියක් වැළලී ගිය අතර ලැන්සාරෝට්වල මිනිස්සු පමණක් දිවි ගලවා ගත්හ. එහෙත් ඔවුනගේ සියලු කෘෂි භෝග ගිනිකඳුවල උණුසුම් අළුවලින් දා පිළිස්සී අළුවලම ඝණීභවනය විය. දැන් මුලු ගමිමානයම ඝණීභවනය වු අළු තට්ටුවකි. පිපිරීමට පෙර තිබු සරුසාර පොළව වෙනුවට එහි තිබුණේ නිසරු අළු ගොඩක් පමණකි. ඔවුන් පෙර දින වැවූ කිසිදු කෘෂි භෝගයක් කොතරම් උත්සාහ දැරුවද, නැවත පැළ වූයේ නැත. කලකිරී හෙම්බත් වු බොහෝ පිරිස් විදේශයන්ට සංක්‍රමණය වූහ.  දිවි ගලවා ගත් සහ නැවතී සිටි අය මෙම දූපත යළි හරිත වගාවකට හැරීමක් සිදුනොවන බව පිළිගත් නමුත් කාලයාගේ ඇවෑමෙන් එය මිදි වගාව සඳහා සුදුසු බව සොයාගන්නා ලදී.

ලැන්සාරෝට් ප්‍රදේශයේ ඉතිරිව සිටි අය  ගිනිකඳු වලින් පිටවු අළු  මිදි වැල් සඳහා අගනා පෝෂකයක් බව සොයා ගත්හ. මන්දයත්  අළු මගින් තෙතමනය හා ශාක සඳහා අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ විශාල ප්‍රමාණයක් දිගු කාලයක් එමඟින් සංරක්ෂණය කරන බැවිනි. එබැවින් ඔවුන් මිදි වැල් වැවීම සඳහා වෙනත් තැනක කිසිදා නොතිබුණු නවතම උපක්‍රමයක් ලෙස වළවල් හා අගල් හාරා ඇත. එවිට මෙම වළවල් සහ අගල් ගිනිකඳු පාෂාණ ගොඩවල් වලින් වට වී පස තද සුළඟින් ගසාගෙන යාමෙන් ආරක්ෂා කරයි. එය තාක්ෂණික සොයා ගැනීමකි. කේතුවක හැඩය විසින් විරල වර්ෂාව සහ පිනි එකතු කරනු ලැබෙයි.  ජලය ශාකයේ මුල්වලට ගලා යයි. වාතයෙන් තෙතමනය ඇද පසෙහි රඳවා තබා ගනිමින් එහි උෂ්ණත්වය නියාමනය කරයි. බිත්ති සුළඟින් වැල් ආරක්ෂා කරන අතර තාර බෑවුම් ඛාදනය හා කඩා වැටීමෙන් ආරක්ෂා කරයි. අළු වැල්වල මුල් යටපත් කිරීම වළක්වයි. සඳෙහි ඇති ආවාට සිහිපත් කරවන මෙම භූමියට පිටතින් පැමිණෙන්නෙකුට මිනිසා බිහිවීමට පෙර පෘතුවිය තිබුණේ  මේ ආකාරයට යැයි සිහිගන්වයි. මේ එක් කුහරයක් මීටර් 5 ක් උසින් හා මීටර් 04 ක පළලකින් යුක්ත ය. ඔවුන් මුල් කාලයේ ඒවා තම අත්වලින් හාරන ලදී.  මේ වනවිට ගිනිකඳු අළු ස්ථරවලට ඉදිකරන ලද මේ කේතුකාකාර කුහර පරම්පරා ගණනාවක දක්ෂතාවයෙන් සහ වෙහෙස මහන්සි වී වවාගත් මිදිවැල් වලින් ලෝකයේ අග්‍රගණ්‍යම වයින් නිපදවයි. මුහුදු මාර්ග  හරහා කරනු ලබන වෙ‍ෙළඳාම ප්‍රධාන විෂයක් වූ ලෝකයේ පළමු ශක්තිමත් මිහිරි වයින් ඒවා වූ අතර ඒවා වසර තුන්සියයකට ආසන්න කාලයක් දූපත් සමූහයේ ප්‍රධාන ධන උල්පත විය.

අද වනවිට මේ  මිදිඵල නෙළීමට කුඩා ට්‍රැක්ටර් වලට ඇතුළු විය හැකි නමුත් 1800 තරම් ඈතදී  මෙම කාර්යයට  බූරුවන්, ඔටුවන් වැනි සතුන් යොදා ගැනීම සිදුවිය. 1800 දී යුරෝපයේ බොහෝ මිදි වතු ෆිලොක්සෙරා ආසාදනය නිසා වැළලී යද්දී සියලු ආසාදනයන්ට ඔරොත්තු දීමෙි ශක්තියෙන් අනූන මෙම  මිදි ගස් නොනැසී පැවතිණි.  අතැම් මිදි ගස්  වසර 200 ක් පමණ පැරණි බව කියැවෙයි. ඔවුන් ගේ වයින් එදත් අදත් රජවරුන්ගේ ප්‍රියතම පානයන් ය.  රුසියාවේ I වන ඇලෙක්සැන්ඩර්, ප්‍රංශයේ පළමුවන ෆ්‍රැන්සිස් සහ ස්පාඤ්ඤ රජු වන III වන කාලෝස් පවා “කැනරි දූපත් වලින් ගෙනා වයින් ගුදම් වලින් දිනකට වීදුරු තුනක් දක්වා පානය කළ බව ඓතිහාසික වාර්තාවල දැක්වෙයි. මේ මොහොතේ ඒවා, චාල්ස් කුමරු සහ බැරක් ඔබාමා භුක්ති විඳින බව මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.  මින් El Grifo වයින් සහ Sofia Perez යන  වයින් වර්ග ලෝකප්‍රකට ය. මිල අධික ය. වයින් නිෂ්පාදනය මෙම දිවයිනේ ජීවනාලිය යි. 150,000 ක ජනගහණයක් සමඟ, ලියාපදිංචි මිදි වගා කරන්නන් 2,000 කට ආසන්න සංඛ්‍යාවක් සහ වයින් කර්මාන්තශාලා 21 කින් සමන්විත ය.  ඔවුහු සියල්ලෝම මෙම අපූරු සංස්කෘතිය සහ සම්ප්‍රදාය ජීවමානව තබා ගැනීමට ඔවුන්ගේ කාර්යභාරය නොපිරිහෙළා ඉටු කරමින් සිටිති.

 

  උපාලි ජයසිංහ

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT