ශ්‍රී ලංකාවේ ප්රබලතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10ක් සහභාගි වන ‘Ningbo’ බැඩ්මින්ටන් ඒෂියා ශූරතාවලිය අද චීනයේ නින්ග්බෝ නුවර ඔලිම්පික් ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ වේ. අද සිට ලබන 13 වැනිදා දක්වා පැවැත්වෙන මේ ජාත්‍යන්තර බැඩ්මින්ටන් ශූරතාවලියට සත්කාරක චීනය ඇතුළු රටවල් 23ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එක්වීමට නියමිතය.
ජයග්‍රාහක ජයග්රාහිකාවන්ට අමෙරිකානු ඩොලර් ලක්ෂ 5ක මුදල් ත්‍යාග පිරිනැමෙන මේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විරේන් නෙත්තසිංහ, රනිත්මා ලියනගේ, මධුක දුලාංජන, ළහිරු වීරසිංහ, ඉසුරි අත්තනායක, සිතුමි ද සිල්වා, හසිනි අම්බලන්ගොඩගේ, හසාරා විජේරත්න, තුලිත් පල්ලියගුරුගේ සහ පංචාලි අධිකාරි කාන්තා හා පිරිමි ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග කාණ්ඩ වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතය.
ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ අනුමැතිය යටතේ පැවැත්වෙන ආසියාවේ ඉහළම මට්ටමේ තරගාවලියක් වන නින්ග්බෝ බැඩ්මින්ටන් ඒෂියා ශුරතාවලියේදී විරේන් සහ රනිත්මා කාන්තා හා පිරිමි ඒකල තරගයට ක්‍රීඩා කරන අතර, පිරිමි යුගල තරග අංශයට මධුක දුලාංජන සහ ළහිරු වීරසිංහත්, කාන්තා යුගල තරග අංශයට ඉසුරි සහ සිතුමි ද හසිනි සහ හසාරා ද එක්වීමට නියමිතය. තුලිත් සහ පංචාලි විවෘත මිශ්‍ර යුගල තරග අංශයට එක්වනු ඇත. රොෂාන් ධම්මික, හසිත චානක සහ ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය ලෙස ඒ.පී.එම්.කේ. ඉෂාරි එක්වී සිටිති.