අවිස්සාවේල්ල සීතාවකපුර කර්මාන්ත පුරයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ආරක්ෂාව භාර පරිපාලන නිලධාරී පැය දෙකක කාලයක් ඇඳුම් කැපුම් රෙදි රාක්කයක් තුළ සැඟවී සිට රුපියල් ලක්ෂ ගණනාවක කාන්තා නිමි ඇඳුම් සොරාගත් වැඩ පරීක්ෂකවරයකු ඇතුළු සේවකයන් හයදෙනකු ඒ මොහොතේම අල්ලා පොලීසියට භාරදුන් බව අවිස්සාවේල්ල පොලීසිය පවසයි.
එම සැකකරුවන් සමඟ රුපියල් 345,095 වටිනා කාන්තා නිමි ඇඳුම් 134ක් පොලිස් භාරයට ගෙන ඇත.
පැමිණිලිකාර ආරක්ෂාව භාර පරිපාලන නිලධාරියා ඉකුත් 5 වැනිදා සවස 3.30ට පමණ රාජකාරී භාරගෙන රාජකාරී කරමින් සිටියදී ඇඟලුම් කර්මාන්ත ශාලාවේ අංක තුන කොටසට ආහාර පාර්සල් කීහිපයක් යැවීමට අවශ්‍ය කටයුතු කරදී නැවත සේදුම් අංශයට ගොස් මුර කුටිය පරික්ෂා කර පසුදින අලුයම 3.00ට පමණ කැපුම් අංශයට ගිය අවස්ථාවේදී කැපුම් අංශයේ ගබඩාව අසල උර දෙකක බහා නිමි ඇඳුම් තොගයක් ඇති බව දැක සැකයක් හටගෙන ඇතැයි පොලීසිය පවසයි.
කෙසේවත් ගෙන ඒමට නොහැකි නිමි ඇඳුම් කැපුම් අංශයට කෙසේ ආවාද යන්න සැක සිතී ස්ථානයේ ආරක්ෂක හා විමර්ශන භාර නිලධාරීවරයාට මේ බව දැනුම් දී උපදෙස් ලබාගෙන එම ස්ථානයේ තිබෙන කැපුම් රෙදි රාක්කයක් තුළ සැඟවී බලා සිටියදී පැය දෙකකට පමණ පසු අලුයම 5.00ට පමණ ආයතනයේ සේවයකයන් දෙදෙනෙකු පැමිණ එම නිමි ඇඳුම් උර දෙකකට කැපුම් රෙදි ඇතුළට දමා ලොරි රථයට යැවීමට ලෝඩින් අංශයේ පරීක්ෂකවරයාට දුරකතනයෙන් කතාකර “බඩු ටික එවනවා දාගන්න යැයි” කියා එම නිමි ඇඳුම් පහළට යැවීමට උත්සාහ කරන අවස්ථාවේදී එම දෙදෙනා අල්ලාගෙන ඔවුන් දෙදෙනා සමඟ අදාළ නිමි ඇඳුම් පාර්සල් දෙක පහළට ගෙනැවිත් පරීක්ෂකවරයා සහ එයට හවුල් අනිත් අය අල්ලා පොලීසියට භාරදීමට කටයුතු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවිස්සාවේල්ල, කොළඹගම, ගිරාඳුරුකෝට්ටේ, කොටියාකුඹුර, කුලියාපිටියේ හා ඉලුක්හේන පදිංචි වයස අවුරුදු 19 හා 38 අතර වයස් කාණ්ඩයේ පසුවන්නන්ය.