දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල සිට කොළඹ දෙසට පිහිටා ඇති මංතීරුවේ 159 කිලෝමීටර් කණුව ආසන්නයේදී පෙරේදා (6) රාත්‍රී 8.00ට පමණ වාහන හයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් එක් කාර් රථයක රියැදුරකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි අධිවේගී මාර්ග රථවාහන පොලීසිය පවසයි. අධිවේගී මාර්ගයේ ගමන් ගත් ලොරියක පසුපස ටයරයක් පුපුරා යාම නිසා එය නතර කළ පසු පසුපසින් පැමිණි කාර් රථ තුනක් සහ කැබ් රථයක් එකිනෙක ගැටී ඇතැයි පොලීසිය පැවසීය.
රිය අනතුර විමර්ශනය කිරීමට පොලිස් නිලධාරීන් පැමිණි මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කැබ් රථයක් මාර්ගය අයිනේ නවතා තිබියදී මත්තල දෙස සිට කොළඹ දෙසට පැමිණි කැබ් රථයක් ඉහත කැබ් රථයේ ගැටී ඇතැයිද පොලීසිය පැවැසුවේය. මෙම අනතුරින් වාහනවලට අලාභ හානි සිදුවී තිබේ. තුවාල ලැබූ කාර් රථයේ රියැදුරා ප්රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.
අධිවේගී මාර්ග රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් අනතුර ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වති.