මියගොස් නරක් වී තිබෙන වනඅලියකුගේ සිරුරක් දින ගණනාවක් සිට වැලිකන්ද සිංහපුර කොට්ඨාසයේ දිඹුලාන 09 ඇළේ වෙල්යායේ වැටී ඇති බව ප්‍රදේශවාසීන් සහ ගොවි ජනතාව සඳහන් කරති.
එම නරක් වූ අලියාගේ සිරුරින් දුගඳ හමන නිසා කුඹුරු වගා කර ගැනීමට පවා අපහසු වී ඇති බව ගොවීන් පවසති.
දින තුනක කාලයක් තිස්සේ මෙම වනඅලියා රෝගාතුරව වෙල්යායේ සැරිසැරූ බවත්, අනතුරුව කුඹුරු යායේම එම අලියා මියගොස් වැටී ඇති බවද ගොවීන් පවසති.
මේ බව වැලිකන්ද වනජීවී නිලධාරීන් දැනුම්වත් කිරීමෙන් පසු එක් අවස්ථාවක් පැමිණ ගිය බවත්, වනඅලියා කුමන හේතුවකින් මියයන්නට ඇද්ද යන්න පරීක්ෂා කිරීමට වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරයකු පැමිණෙනු ඇති බවට වනජීවී නිලධාරීන් ප්‍රකාශ කර ද ඊයේට (07) දින අටක් පමණ කාලයක් ගත වුවද තවමත් වනඅලියාගේ සිරුර වෙල්යායේ නරක් වෙමින් පවතින බවද ගොවීන් පෙන්වා දෙති.
අප මේ පිළිබඳ වැලිකන්ද වනජීවී කාර්යාලයෙන් දුරකතනයෙන් කළ විමසීමකදී එහි නිලධාරියකු සඳහන් කළේ වනජීවී දෙපාර්තමේන්තුව පශු වෛද්‍යවරයකු පැමිණ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කිරීමෙන් අනතුරුව අවසන් කටයුතු කිරීමට කඩිනමින් ක්‍රියා කරන බවයි.