මියන්මාරයේ පසුගිය දා සිදුවූ භූමිකම්පාවෙන් අසරණ වූ එරට ජනතාවට ආධාර කිරීම සඳහා කැලණිය ශාසනාරක්ෂක බලමණ්ඩලය, ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේලා විසින් සාකච්ඡා කිරීමෙන් අනතුරුව සංවිධානය කළ පිණ්ඩපාත චාරිකාව පෙරේදා (06) සවස කිරිබත්ගොඩ නගරයේදී පවත්වන ලදී.
කිරිබත්ගොඩ පොලිස් ස්ථානය වෙත වැඩම කළ මහාසංඝරත්නයට පොලිස් නිලධාරීන් සහ කිරිබත්ගොඩ වාසිටි සමූහ ව්‍යාපාරයේ අධිපතිතුමන් ඇතුළු ව්‍යාපාරික ප්‍රජාව එක්ව ගිලන්පස දානය පූජා කිරීමෙන් පසු පිණ්ඩපාත චාරිකාව කොළඹ නුවර මාර්ගයේ දෙපසට වැඩම කරමින් මූල්‍යාධාර රැස්කළ අතර මේ සඳහා මියන්මාර් භික්ෂූන් වහන්සේලාද වැඩමවා සිටියහ.
මහ සංඝරත්නය නියෝජනය කරමින් තැඹිලිගස්මුල්ල ශ්‍රී ධීරානන්ද පරිවේණාධිපති පූජ්‍ය පාද පානකාවේ පේමරතන නාහිමිපාණන් වහන්සේ මූල්‍යාධාර පරිත්‍යාගයක් සිදුකර තිබූ අතර කිරිබත්ගොඩ වාසිටි සමූහ ව්‍යාපාරයේ අධිපති ආචාර්ය පියතිස්ස රාජපක්ෂ මැතිතුමා ප්‍රථමයෙන්ම රුපියල් ලක්ෂයක පරිත්‍යාගයක් කරමින් මූල්‍යාධාර එකතු කිරීම ආරම්භ කළේය.
තිලකවර්ධන සමූහ ව්‍යාපාරය, ස්වස්තික බ්රාස් පිත්තල භාණ්ඩ ව්‍යාපාරය, සුදු අරලිය සමූහ ව්‍යාපාරය ඇතුළු ව්‍යාපාරික ප්‍රජාව එක්ව මෙම පිණ්ඩපාත චාරිකාවේදී මියන්මාර් වැසියන්ට මුදලින් ආධාර කළේය.
කැලණිය ශාසනාරක්ෂක බලමණ්ඩලය නියෝජනය කරමින් ප්‍රදේශයේ මහා සංඝරත්නය මෙම පිණ්ඩපාත චාරිකාවට වැඩමවා සිටියහ.
මෙම පිණ්ඩපාත චාරිකාවෙන් ලද ආධාර මුදල් මියන්මාර් තානාපති කාර්යාලය හරහා එරට අවතැන්වූ ජනතාවට ලැබීමට සලසන බව සංවිධායක මණ්ඩලය පැවසූහ.